එක මග යන මගීන්…

මදුර වු ගීතය පසෙකලා

කර්කශ හඩට ආයාසයෙන් සවන්දෙන

ජීවන බරින් ඔටුනු පලඳා

පිටතින් සුදු හුනු වන්

සූට් බූට් පැලදී

Hair Jel සුවද විලවුන් සුවදින්

පලාතම සුවද කරමින්

පීඩිත සිතේ ඇති කව

ලොවට නොපෙනෙන්නට

සැමටම තම දසන් පෙන්වන

ඔබ හා මා….

දිනෙන් දින ගරා වැටෙන

ශරීර කූඩුව

අසුනක් මත සතපවමින්

එකම මගක ගමන් යන

ගියන් පමණක් වී

සහෘදයන් හෝ මිතුරන්

නොවුයේ ඇයි?

4 comments March 24, 2009

ජීවිත යාත්‍රාව සහ මහ පොළොව උඩ නිදාගැනීම

අද මේ ලියන්න හදන්නේ තවත් මනුස්සෙක් ගැන. කාගේ හරි පිටට පේන හැසිරීම් දිහා බලන්න මං හරි අසයි. එක එක අයගේ විවිධ හැසීරීම් . හැබැයි ඒ කෙනා අපහසු තාවයට පත්වෙන විදිහට නෙමෙයි මං බලන්නේ. හැබැයි ඒ කෙනාගේ හැසීරීම මගේ ඇස් දෙකට නීරීක්‍ෂණය වෙනවා කියලා අනෙක් අය දන්නේ නැ. ඒක මට ෂුවර්.

ලඟ ලඟ දවස් දෙකකදී හිතට ටිකක් දුක හිතෙන සිදුවීමක් දැක්කා. ඒ තමයි තරමක් මැදි වියේ අම්මාකෙනෙක් කිලුටු පහේ ඇඳුම් පොට්ටනියකුත් තුරුළුකරගෙන පාරේ පාටටම හරියන ඇදුමකුත් ඇදගෙන පාර අයිනේ බස් නැවතුමක් ලග නිදි. ඒ වෙලාවෙනං සැහෙන්න දුක හිතුනා. ඒ එක්කම මට හිතුනා මේ මනුස්සයා මට වඩා නිදහසේ ඉන්නවා නේද කියලා.

හැබැයි ඉතිං ඔය නිදහස කෙන කෙනාට වෙනස්. ඒ මනුස්සයාව පිටින් බලලා මට නිදහස් කෙනෙක් වගේ පෙනුනට ඒ අම්මා ඇත්තටම නිදහසේ නොවෙන්න පුළුවං ඉන්නේ.අපි හැමෝම බලාපොරොත්තු එක්ක ජීවත් වෙනවා. ඒ අම්මගේ හීනයි/බලාපොරොත්තුයි මගේ හීනයි/බලාපොරොත්තුයි අතරේ වෙනසක් තියෙනවා. ඇතැම් විට ඒ අම්මගේ බලාපොරොත්තුව මගේ බලාපොරොත්තුවේ මුල් අවස්ථාව. ඉපදිච්ච ඔන සතෙකුට තියෙන මූලික පැතුම බඩ පුරවා ගැනීම සහ නිදා ගැනීම. මං තුන්වේලට බත් කනවා, කාලා නිදාගන්නේ ඇදක. නමුත් අර නිදහසේ පොලොව මත නිදා හුන් ඇයට තියෙන බලාපොරොත්තුව තුන් වේලට නැතත් එක වේලකට හරි බත් හෝ මොනා හරි ආහාරයක් ගැනීම. ඇයට නිදා ගන්න වහලක් අවශ්‍ය නැ මේ වෙලාවේ. ඒක ඇය ක්‍රියාවෙන් ඔප්පු කරනවා. ඇය මම සහ ඔබ අහාර ලබා ගැනීමේ මුලික බලාපොරොත්තුවෙන් දවස ගෙවනවා. ඒක අනිවාර්යෙන් ලැබෙන හින්දා ඔබේ සහ මගේ මුලික බලාපොරොත්තුවක් විදිහට ඉස්මතුවෙලා පෙන්නේ නැ.අපේ මුලික බලාපොරොත්තුව නොහොත් අවශ්‍යතාව (කෑම) අනෙක් බලාපොරොත්තුවලින් වහගෙන . ඒක හින්දා බලාපොරොත්තුවක් විදිහට දැනෙන්නේ නැ. නමුත් අර අම්මට තියෙන බලාපොරොත්තුවම මටත් තියෙනවා. ඒක ඇගේ බලාපොරොත්තුවේ මුල මැද අග කියන හැම තැනම තියෙනවා. පිටින් බලන අපිට ඇගේ බලාපොරොත්තුව පුංචි එහෙම නැත්තං සුළු බලාපොරොත්තුවක් වෙන්න පුළුවං උනාට ඇයට ඒක ඇගේ එකම සහ මුලිකම බලාපොරොත්තුව.

ඇගේ ජිවන යාත්‍රාව මගේ එකට වඩා සැහැල්ලුයි. ඒක නිසා ඔහේ පාවෙලා යනවා. හබලක් අරගෙන හබල් ගන්න ඔන නැ. හුලං ආධාරයෙන් පාවෙනවා. මගේ ජීවන යාත්‍රාව මගේ වටේ ඉන්න අය එක්ක සසඳලා බැලුවොත් අර අම්මගේ යාත්‍රාව තරම්ම සැහැල්ලු නොවුනත් මගේ යාළුවන්ගේ යාන්ත්‍රාවන්ට වඩා සැහැල්ලුයි. ඔහේ පාවී යන්නේත් නැ හැබැයි වෙර දාලා හබල් ගන්න ඔනත් නැ. සැහැල්ලුවෙන් පොඩි හබල් පාරවල් දෙක තුනක් ගැහැවුවාම ඉස්සරහට යනවා.

මේ ජීවන යාත්‍රාව ගැන කිව්වාම ඒ ගැන හොද සරල සඳහනක් තිබුනා මං ලගදි කියවපු පොතක. පොත් නං මං හරි අඩුවෙන් කියවලා තියෙන්නේ. මේ මං දැං කියන පොත ලැබුනේ පොත් හුඟක් කියවලා තියෙන දැනටත් පොත් කියවන ඒ වගේම හොඳට ලියන්න කියන්න පුළුවං හැකියාවක් තියෙන නමුත් ලියන්න මහ කම්මැලි කමක් තියෙන යාළුවෙක් ගෙන්. පොත තමයි Jerome K. Jerome ගේ “Three Men in a Boat” කියන පොතේ ජනක මහබෙල්ලන පරිවර්තනය කරපු තේම්ස් නදියේ සවාරියක් කියන පොත. එක්තරා තැනක මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

ඔබේ ජීවිත යාත්‍රාව සැහැල්ලු කර ගන්න. අවශ්‍යදේ පමණක් එහි බහාලන්න. පුංචි නිවසකුත්, සරල විනෝදයත්, මිතුරන් දෙන්නෙකුත්, ආලය කල හැකි එක්කෙනෙකුත්, ඔබට පෙම් කරන අයෙකුත්, බල්ලෙක් බළලෙකුත්, දුම් පයිපයකුත්, ඕන තරම් කෑමත්, ඇඳුනුත් , බීමට යමකුත් සැහෙනවා. එතකොට ඔරුව පදින එක පහසුවෙනවා. පෙරලෙන්නෙත් නැ, පෙරලුනත් ගානකුත් නැ. කල් පවතින බඩු වතුරට නරක් වෙන්නෙ නැ. එතකොට ඔබට හිරු රැස් බීමට පුළුවන් වෙනවා. සංගීතය රස විදින්න හැකිවෙනවා.

මෙන්න මේ ඉහතින් සඳහන් කල වචන ටික මං පුදුම විදිහට වින්දා. ඇත්තටම පුරවගෙන තියෙන සමහරක් පොඩි පොඩි දේවල් ටිකක් ගඟට විසි කලොත් මගේ ජිවිත යාත්‍රාවෙත් බර තව ටිකක් නොදැනුවත්වම හරි අඩුවෙනවා නේද කියලා දැනෙන්න පටන් ගත්තේ ඒ වෙලාවේ. ඉහතින් සඳහන් කල ඔරුවේ තියෙන දෙයක් මගේ ඔරුවේ නැ. බල්ලේක් හෝ බළලෙක්, දුම් පයිපයක් හා තව එකක් දෙකක්. මං බල්ලන්ට පණ බයයි. ඒ නිසා මගේ ජිවිතේ බල්ලෝත් නැ බළල්ලුත් නැ. හැබැයි තිබිලා හෝ ලැබිලා නැතිවෙච්ච දේ ගැන වැඩිය නොහිතා තියෙන දෙයින් සතුට විදින්න දැං මට පුළුවං.

අපි සැප සම්පත් දුක් කරදර ආදි නොයෙක් දේ විදින්නේ විවිධාකාර විදිහට. ඒක කෙන කෙනාට වෙනස්. මිල මුදල් ලැබෙන්න ලැබෙන්න බලාපොරොත්තු අවශ්‍යතාවන් එන්න එන්න වැඩි වෙනවා. ලෝකය ගෝලාකාරයි නමුත් මිනිසුන් විවිධාකාරයි කියලා කියන්නේ ඔය හින්දා වෙන්න ඇති. අනේ මංදා ඔක ඔහොම නෙමෙයි ද දන්නේ නැ කියන්නේ. මට මතක විදිහ තමයි ඔය. කොහොම නමුත් ලෝකය ගෝලාකාර උනාට ඒකේ පැවැත්ම හරි විචිත්‍රයි. මිනිසුන් ඒකාකාර නොවී විවිධාකර උන එකේම තියෙනවා විචිත්‍රත්වයක් . නැද්ද මං අහන්නේ. ඒකනේ අර අම්මා මහපොළොවේ නිදාගෙන මං ඇදේ නිදා ගන්නේ. ගෙදරදි බිම නිදා ගත්තත් ඒ වහලයකින් වට වෙච්ච සෙමෙන්ති හෝ මැටි පොළොවක් උඩනේ. හැබැයි නිකම්ම මහ පොලොවේ එකම එක වතාවක් මාත් නිදා ගත්තා. ඒ කැම්ප් සයිට් එකකට උඩවලවේ ගිය වෙලාවේ. ගෙදරදි වගේ නෙමෙයි පොළොවෙන් එන නැවුම් සුවඳත් එක්ක කිසිම කම්මැලිකමක් නැතුව උදේ පාන්දර නැගිට්ටෑකි මහ පොළොවේ නිදා ගත්තාම. පින්න වැටිලා ඒ වැටිච්ච පින්නෙන් පොලොව තෙමිලා , තෙමිච්ච පොළොවෙන් එන නැවුම් සුවඳ විඳගෙන අවදිවෙනකොට අපිත් මේ ස්වභාවධර්මයාගේ කුළුපගයන් බව හොදට දැනෙනවා. ඒ අත්දැකීම වචනෙන් විස්තර කරන්න බැරි තරං මිහිරියි. ඇතමෙක්ට ඒක එහෙම නොවෙන්න පුළුවං. නමුත් මට දැනුනේ නං එහෙමයි.

මං අර ඉස්සෙල්ලා සඳහන් කරපු පොතෙත් තැනක මෙහෙම තිබුනා. එළිමහනේ නිදා ගන්නෙක්ට පාන්දරින් අවදි වෙන්න පුළුවං , පිහාටු ඇදක නිදාගන්නෙක් වගේ තව විනාඩි පහක් නිදාගන්නවා යන කම්මැලි සිතුවිල්ල පහල වෙන්නේ නැතුව.

පරිසරයත් එක්ක ජීවත් වෙන්න පුළුවං නං අපිට හුගක් අනපේක්‍ෂිත දේවල් දැකගන්න , විදගන්න පුළුවං. මට දැනෙන විදිහට පරිසරේ අමුතු තාලයක් තියෙනවා. හුළං හැමුවත් ඒකේ අමුතු රිද්මයක් තියෙනවා. හයියෙන් හැමුවත් හෙමින් හැමුවත් ඒ ඒ වෙලාවට හුළගට ආවේනික රිද්මයකින් තමයි හමාගෙන යන්නේ. කවදා හරි දවසක මුහුද ලගට ගිහිල්ලා මුහුදේ රැළිවලින් එන හෝ හඬට කන් දීගෙන ඉදලා තියෙනවද? ඒකෙත් තියෙනවා අමුතු තාලයක්. ගල් උඩින් පෙණ දදා ගලන ගඟක් ලගට වෙලා තනියම ඉදගෙන ඒ හඬට කන් දීගෙන ඉදලා තියෙනවද? ඒ හඬත් හරි මිහිරියි. හරියට ස්වභාවධර්මයා බෙර ගහා ගහා සිංදු කියනවා වගේ. ඒ හඩ මේ දැනුත් මගේ කන් වලට ඇහෙනවා.

කෙහොම නමුත් අපි අපිටම ආවේනික අපි තුල ගොඩනගා ගත්තු ලෝකවල ජීවත් වෙනවා වගේ හැඟීමක් මට තියෙනවා. ඒක අර අම්මටත් එහෙමයි මටත් එහෙමයි ඇතැමි විට මේක කියවන ඔබටත් එහෙමයි.

5 comments March 9, 2009

අහම්බෙන් දුටු මිතුරිය ……..

අද මං මේ සටහන ලියන්න හිතුවේ අහම්බෙන් වගේ . මේ අහඹුව පටන් ගන්නේ පසු ගිය දවසක හැන්දෑවක මගේ නෙත් දෙකට ප්‍රීතිදායක දර්ශණයක් ඇස ගැටුණු හින්දා. ඒ තමයි කාලයක් මගේ හොදම මිතුරිය වෙලා හිටපු කෙනෙක් මා බසයේ ජනේලයෙන් ඔළුව දමාගෙන සිටියදී ඇස ගැටීම. නමුත් මං ඇයව දුටුවත් ඇය මාව දැක්කේ නැ. බස් එක ඇතුලෙම ඉදගෙන හයියෙන් නම අඩගැසීමේ දඟකාරකමකුත් ඒ මොහොතේම ඔළුවට ආවා. ඒවා හිතෙනවා විතරයි කරන්න තරං ශක්තියක් නැ. එක් වරම බසයෙන් බැසයාමේ තදබල අශාවකින් සිතුවිලි නටන්න පටන් ගත්තා. මං ප්ලෑන් කරනකොට බස් එක ගිහින් ඉවරයි. දැං බස් එක නුගේගොඩ ගුවන් පාලම උඩින් යනවා. මිතුරියගේ දර්ශණය කෙමෙන් කෙමෙන් අතුරුදහන් වන තත්වයට පත් වන විටත් බසයෙන් බැස ගොස් ඇය හා කතා කිරීමේ උමනාව යටපත් වෙලා තිබුනේ නැ. කෙහොම නමුත් ඊලග නැවතුමෙන් බසය නැවතුනත් මා බසයෙන් බැස ඇ සොයන විට සත්තකින්ම ඇ අතුරුදහන් වී සිටිය නොහැකිදැයි හිත ප්‍රශ්ණ කරපු හින්දා ඉදගෙන හිටපු විදිහටම ඉන්න තීරණය කලා.

ශරීරයෙන් මා බසය තුල අසුන් ගෙන අනෙක් අයට දත් විලිස්සාගෙන හිටියත් සිතුවිලි නං මීට අවුරුදු 5 6ක් අතීතයට කාල තරණයක් කරමින් හිටියා. ඒ මගේ පාසල් කාලේ පිලිබඳවත් මීට මොහොතකට පෙර දුටු මිතුරිය සම්බන්ධ මතකයනුත් අතර.

ඇය මගේ පුංචිම කාලේ මිතුරියක් නොවුවත් 7 8 පන්තිවල හිටපු හොම යෙහෙලියක්. නමුත් 9 වසර මුල් කාලයේදී ඇය අපේ පාසලෙන් සමු අරගෙන මීරිගම පදිංචියට ගියා. අක්කාකෙනෙක් සහ නංගිලා 4කුගෙන් සමන්විත පවුලේ ඇය දෙවැනියා. පියා නැති පවුලේ බර කරට ගෙන හිටිය ඇගේ මවට මගේ මවට මෙන් දැඩි ස්නේහයක් මගේ හිතේ තිබුනා. නංගිලා මල්ලිලා නැති මට ඇගේ සොයුරියන් මගේ නංගිලා වගේ දැනුනා. ගීත ගායනයට නර්තනයට මේ අක්කා නගෝ හරි දක්‍ෂයි. ඇගේ අක්කා තමයි අපේ පාසලේ නිත්‍ය නිවේදිකාව උනේ.ඇ නිවේදන කටයුතු කරන විට අහං ඉන්න හරි ආසයි. ඒ දවස් වල අපි බලං හිටියේ ඈට Radio එකේ රැකියාවක් ලැබෙයි කියලා.

ඇය පාසලෙන් ඉවත්වන දවසේ මට මහා දුකක් දැනුනා. අපේ අම්මත් එක්ක කතා කරලා ඇයව අපේ ගෙදර නවත්වා ගැනීමේ දැඩි ප්‍රයත්නයකත් මං යෙදී හටියා. අපේ අම්මා කැමති උනාට ඇගේ අම්මාගෙන් ඒකට වැඩි කැමැත්තක් තිබුනේ නැ. මිරීගමට ඔවුන් ගියේ ඇගේ මවගේ දෙමාපියන් සිටි ප්‍රදේශය නිසයි. කොහොම නමුත් මගේ සොයුරිය වන් මිතුරිය පාසලෙන් අයින් උනා. ඒ අයින් වෙන දවසේ අප එකිනෙකාට පොරොන්දු උනේ අපේ මිත්‍රකම කිසිදාක අමතක නොකරන බවයි. ඒ වගේම නිතර ලිපි ලියන බවත් අපි එකිනෙකාට පොරොන්දු උනා. පොරොන්දුව නං ටික දවසක් කරගෙන ගියා. ඇය මටත් මා ඇයටත් ලිපි ලිව්වා.නමුත් උසස් පෙළ පංතිවලට එන කොට ඒ පොරොන්දුව ඒ ලෙසම ඉෂ්ඨ කරන්න අපි දෙන්නටම නොහැකි උනා.සමහර සමහර දේවල් කාලයත් සමඟ නැති වී ගියත් ඇය අදටත් මට හොදම මිතුරියක්.

මා ඇයව දුටු වෙලාවේ මට කෙසේ හෝ කතා කිරීමේ අවස්ථාවක් උදා උනානං බොහෝ විස්තර තිබුනා කතා කරන්න. නමුත් කාලය හෝ වෙන මොකක් හරි හින්දා ඒ ගමන වැලකුනා. නැවත් ලිපි ලිවීමේ උමනාවක් තිබුනත් මගේ නොසැලිකිලිමත් කම නිසාම ඇගේ ලිපිනය මා අතින් නැතිවෙලා තිබුනා. මිරීගමට ගිය ඇය නුගේගොඩ මක් කරනවද? පෙනුමෙන් ඇය රැකියාවක් කරන බවක් තමයි පෙනුනේ. ඒ සිතිවිල්ලෙන් මං සැහෙන්න සතුටු උනා. කොහොම නමුත් කාලයක් දැන හැදින ගත් මිනිසුන් අතරමගදි හමු වුවත් වචනයක් හෝ කතා නොකර ඉන්න සිදුවීම නං මහ දුකක්.

මගේ මිතුරියගේ මතකයනුත් සමඟ මතක් වෙන තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි එවකට අපේ පාසලේ හිටපු විදුහල්පතිනිය. මගේ ජිවිතයේ මා දැඩි ලෙස ප්‍රිය කරන චරිතයක්. මහා ගාම්භීර පෙනුමක් ඇයට තිබුනා. දුටු විගසම කුඩා අප තිගැස්සෙන පෙනුමක් ඇයට තිබුනද පාසලේ හිටිය හොදම විදුහල් පතිනිය ඇයයි. ඇගේ පාලන කාලය තුල පාසල තුල සිටි අප වගේම ගුරුවර ගුරුවරියන් ද මහත් ප්‍රබෝධයෙන් වැඩකටයුතු කලා.

ඇ විසින් නිතර පවසන දෙයක් මට තාමත් මතකයි. ඇතැම් විට එය මගේ ජිවිතයට ආදර්ශ පාඨයක්ද උනා. “ ළමයි ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න එපා කියලා “ ඇය නිතරම අපිට මතක් කරලා දුන්නා. ඒ වදන් පෙළ මුල් වරට මං ඇහුවේ ඇගේ මුවින්. මා හට ඇය ගරු කටයුතු කෙනෙක් වු නිසාම ඒ වදන් ඒ ආකාරයෙන්ම මගේ හිතේ තැන්පත් උනා. ඇය අපේ පාසලේම නිලනිවසේ පදිංචිවෙලා හිටියා. ඇය අප සැමදෙනාගේම මව වුවා සේම රැකවලා උනේද ඇයයි. හොදට හොඳ නරකට අන්තිම නරක අයෙක්. ඒ හින්දම බොහෝ ළමයි වැරදි කරන්න බය වගේම මැලි වුනා. පාසලෙන් පිට අප සහභාගීවෙන ඔනෑම උත්සවයකට තරගයකට මොහොතකට හරි ඔළුව දලා යන්න ඇය පුරුදුව හිටියා. ඇගේ ඒ පැමිණීම අපට මහත් ශක්තියක් වුවා සේම ඇගේ පැමිණීම අප අපේක්‍ෂා කලා. එතුමිය හැම ළමයෙක්ම බෙහොම සියුම් විදිහට උනන්දු කෙරෙව්වා. ඒ වගේම හැම ළමයෙක්ම බොහොම සියුම් ලෙස ඇගේ නිරීක්‍ෂණයට හසුවෙලා හිටියා. ඒ හින්දා ඇගේ ඇස් වහලා අහුනොවී කිසිම දඟ වැඩක් කරන්න පුළුවං කමක් තිබුනේ නැ.

කොතෙකුත් දඟ වැඩ හින්දා බැනුම් හා වේවැල් පාර ලැබුනු වෙලාවල් තිබුනත් ඊගාව මොහොතේ ඉතාම හොදින් ඇය අප සමඟ කතා බහ කලා. ඇගේ පාලන කාලය තුල අප නව ප්‍රාණීන් විදිහට තමයි පාසල තුල හිටියේ. සෑම අධ්‍යාපන චාරිකාවකටම ඇය සහභාගී උනා. එවිට ඇගේ විනෝද කාමී ලක්‍ෂණ හොදින්ම මතුවෙලා තිබුනා. පාසලේ තිබුනු නොයෙක් අඩු පාඩු බොහොමයකට පිලියම් ඇගේ පාලන කාලය තුල සැපිරුනා. මේ කාලය තුල අප විනෝදයෙන් ඉගෙන ගත්තාය කිව්වොත් නිවැරදි. සැබැවින්ම ඇය හොද මවක් වුවා.

මගේ පාසල් කාලයේ මට අමතක නොවනම අවධිය මා ගත කලේ ඇගේ පාලන කාලය තුලයි. හදිස්සියේම ඇ අපේ පාසලට විදුහල්පතිනිය වී ආවා වගේම හදිස්සියේම ඇ අපේ පාසලෙන් වෙනත් පාසලකට මාරු වී ගියා. ඇ පැමිණි දිනයේ මහා බයකින් සිටි සියළු දෙනා ඇ ඉවත් වන දිනයේ හිටියේ ඇසුවල කදුළු පුරෝගෙන. ඇගේ දෙපා නැමැද අවසන් වරට ආශිර්වාද ලබා ගන්නා අවස්ථාවේ හිතේ හංගාගෙන හිටපු කදුළු ඇස්වලින් ඇගේ දෙපාමුල වැටෙනවා මට තාම මතකයි. පාසල් ගොස් අවසන් වී සිටියත් ඒ අවස්ථාව සිහිවෙන කොට දැනුත් මගේ ඇස්වලට කදුළු එනවා.

ඇය දැන් සේවයෙන් විශ්‍රාම ගොස් ඇගේ දරුවන්ගේ දරුවන් රැකබලාගෙන විවේකීම සිටිනවා. මා මුළු හදවතින්ම ඇයට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

8 comments February 26, 2009

05th Lane එක සහ අතරමගදි හමුවු මිනිසා

 
 

 

හුගක් දවසකින් තමයි මං මගේ බ්ලොග් අඩවියට ආවේ. සමහරක් විට මාසයකින් විතර වෙන්න ඇති. ලියන්න තරං විශේෂ උමනාවක් නොතිබීමත් ලියන්න අදහස් ආවත් මහා මොකක් දෝ ශුන්‍ය කමක් වගේම වස කම්මැලිකමකුත් මුළු හිතම වෙලාගෙන තිබුනා. මුලින්ම ලැබුවාවු නව වසර සැමට සාමය සපිරි සුභ නව වසරක් වේවා. මේකනං හොදටම පරක්කු වෙච්ච ප්‍රාර්ථනාවක් වගේ නේද? අද හරි අමාරුවෙන් ඒ කම්මැලිකම මැඩගෙන මගේ ගමන් මග අතරමගදී හමුවෙච්ච එක්තරා මිනිසකු ගැන මට හිතිච්ච දේවල් ටිකක් සටහනට එකතු කරන්න ඕන කියලා හිතුවා. මං දැං කතාකරන මිනිසාට මගේ ජිවිතයේ විශේෂ ස්ථානයක් හිමිත් නැ අහිමිත් නැ. ඒ ගැන කියන්න මේ වෙලාවේ මට දැනෙන්නේ නැ. බොහෝ විට ඔහු මට මගේ ජිවිතයේ හමුවෙච්ච තවත් එක් මනුස්සයෙක් විතරයි.

ඒත් මං මේ කතා කරන මිනිසා සමග එක වචනයක් වත් කතාකරලා නෑ.ඔහු හා මා අවුරුදු 3ක් හෝ 4ක් පුරාවට හැම උදෑසනකම මුහුණට මුහුණ මුණ ගැහෙනවා. හැම උදෑසනක් කිව්වාම හැම සතියේ දිනකම.

            138 බස්එකේ ඇවිල්ලා Royalඑක ලගින් බැහැලා 05th Lane එකේ ඇවිදං එද්දි Duplication Road එකට වැටෙන තැන සිට නැවත High Level Road එකට වැටෙන තැන දක්වා වු සීමාව තුල කොතැනදි හරි මට ඔහුව හැම සතියේ දිනකම උදැසනට මුහුණට මුහුණ මුණ ගැසෙනවා. බොහෝවිට සිනාවකින් සංග්‍රහ කරනවා ඇර වෙන කිසිදු සංවාදයක් අප අතර සිදු වෙලා නෑ.  මට ඔහුගෙන් කොහොමද සීයේ කොහොමද අන්කල් කියලා අහන්න ඕනකම තිබුනට මං ඒක ඇහුවේ නැ. මං දවසේ එක්තරා වැඩකොටසක් ආරම්භ කිරීමට අදාල ස්ථානයට යන අතරේ ඔහු ඔහුට අදාල කටයුතු පටන් අරගෙන භාගයක්ම කරලත් ඉවරයි.සමහරක් විට අප දෙදෙනා අතර සංවාදයකට මුල පිරීමට හේතුවක් නොවෙන්න ඇත්තේ සමාජය විසින් ඔළුවට පටවා ඇති පුහු මත වෙන්නත් පුළුවං. කුණු අදින පාර අතුගාන මනුස්සයත් එක්ක සුහද කමක් ඕන නැ. ඒ මනුස්සයට එයාගේ වැඩේ කරගෙන යන්න දෙන්න. යටි හිත හෝ උඩු හිත කිව්වා. ඒ අදහසට මං සාප කලා. ඒත්වැඩක් උනේ නැ. ඒ මතය බිදදාන්න තරං ශක්තියක් මං ලග නොතිබුනේ ඇයි කියලා මං මගෙන්ම ප්‍රශ්ණ කරපු වෙලාවල් අනන්තයි. සමහරක් විට කතා කලානං මං ඒ මනුස්සයාව දැකපු විදිහ මිට වඩා වෙනස් වෙන්නත් තිබුණා. ඒ වෙනසට වඩා මගේ සිතුවිලි විසින් ඔහුව බාහිරින් දැකලා ඔහු පිලිබද මවා ගත්තු චිත්‍රය හොදයි කියලත් හිතුණා. මේ ඔක්කෝමත් හරි තව පොඩි ප්‍රශ්නයක් තිබුනා. කොච්චර පණ්ඩිත කං දෙඩෙව්වත් මං හරි ලැජ්ජයි කතා කරන්න. මං කතාවට දක්‍ෂ කෙනෙකුත් නෙමෙයි. ඉතිං ඒ කොහොමෙන් හරි ඔහු හා මා අතර කිසිම සංවාදයක් නැතුව හැමදාම උදේට මුණ ගැහුණා. සංවාදයට සිනහව විතරක් එකතු උනා.

            ඔහුගේ වයස අවු.60 හෝ 65කට කිට්ටු කරලා ඇති. ඇස්වල අමුතු දීප්තියක් තිබුණා. ඒක අළුත් බලාපොරොත්තුවක් සේයාවක්ද නැත්තං දුකෙන් වේදනාවෙන් පෙලෙන දෑස් වලට උනපු කදුළු හිංදා ඇතිවු දීප්තියක්ද කියන්න මට හරියට බෑ. ඔහු විනෝදාංශයකට වගේ කුරුළු පිහාටු  එකතු කලා . ඔහුගේ කුණු කරත්තය කොනක බැද දමා තිබුනු කුරුලු පිහාටු කිහිපයක් බෝහෝවිට දකින්න ලැබුනා. එතන වැඩිපුර තිබුනේ කපුටන්ගේ පිහාටු. කාක්කෝ වගේ මිනිස්සු ඉන්න මේ කොළඹ රටේ කුරුල්ලෙක් කියලා වැඩිපුර දකින්න ඉන්නේ කපුටන් විතරයි කියලා ඒ දිහා බලන ඕන කෙනෙක්ට පෙනේවී. ඔහුගේ ඒ කුරුලු පිහාටු පොදිය ඒ කුණු කරත්තයට අමුත්තක් ගෙන ආවා. ඇත්තතටම ඔහු ඒ අකාරයට කුරුලු පිහාටු වලින් පොදියක් හදා කුණු කරත්තේ කොනක ගැහුවේ ඇයි?කරත්තේ ලස්සන කරන්නද? නැත්තං ඔහුගේ විනෝදයටද? නැත්තං තමන්ගේ මිණිපිරියකට හෝ මුණුපුරෙකුටද? මගේ ප්‍රශ්ණ වලට  උත්තර නෑ.

            ඔහු මුළු 05th Lane එකම ඔහුට හැකි උපරිමයෙන් පිරිසිදු කලා. ඇතැම් විට ගෙවල් ඉස්සරහා වැවිලා තිබුණු තණකොල පවා ගලවන වෙලාවල් මං දැකලා තියෙනවා. කරත්තේ කොටස් වලට බෙදා තිබුනු වෙලාවලුත් දං දැකලා තියෙනවා. දිරන කුණු එක පැත්තකට නොදිරන කුණු එක පැත්තක‌ට ආදි විදිහට. ඒත් 05th Lane එකේ කවදාවත් හිස් නොවන ලොකු කුණු ගොඩකුත් නැතුවා නොවෙයි. පුදුමෙකට වගේ අදනං මං එද්දි ඒ කුණු ගොඩ හිස්.ඒ කුණු ගොඩ අස් කරන්නේ ලොකු කුණූ ලොරියෙන්.

            ඒ සීයාට/ අන්කල්ට හරි අහිංසක හිනාවක් තිබුනේ. ඒකේ මොකක්දෝ දුකක් වගේම සතුටකුත් තිබුනා කියලා මට දැනුනා. පාර අතුගාන කෙනෙක්ව දැක්කම මට ඒ 05th Lane එකේ පාර අතුගාන සීයාව මතක් උනා. මා එක්ක කතා නොකලට අනිත් අය එක්ක කතා කරනවා මට ඇහිලා තියෙනවා. ඔහු සුහදව කතා කරන බවකුත් මට තේරුනා.

            ඔහුගේ මේ හැම දෙයක්ම මට නිරීක්‍ෂණය කරන්න අවස්ථාව ලැබෙන්නේ බොහොම පොඩි වෙලාවයි. ඔහුව ඇස් දෙකට ඈතදීම දකින මොහොතත් ඔහුව පසු කරන මොහොතත් අතර කාලය විතරයි. ඒක සමහර විට විනාඩියක් හෝ විනාඩියකටත් වඩා අඩු කාලයක් .

            මේ සීයා ගැන අද ලියන්න හේතුවක් තිබුනා. ඔහුව දවස් දෙක තුනකින් දැක්කේ නැ. වෙන කෙනෙක් තමයි ඒ වෙනුවට ඉන්නේ. ඔහුව  පහුකරන කොට හිතට ආපු ප්‍රශ්ණය අර සීයා අදත් නෑ. මං ඔහු ගැන මොනවා හරි ලියන්න ඕන කියලා හිතට ආපු හින්දයි.

            කුණු අදින පාර අතුගාන මනුස්සයා රටටකට හරි වැදගත් කෙනෙක් කියලා මගේ අක්කගේ යාළුවෙක් මං පාසල් යන දවස් වල මට කිව්වා. මට ඒක හොදට හිතට වැදුනා. හුගක් වෙලාවට මං ඒ ගැන කල්පනා කලා. බැලුවාම ඒ කතාවත් ඇත්ත. වෙලාවකට හිතෙනවා ඒ මිනිස්සු රැකියාවට උනාට ඒ ඔස්සේ රටට ලොකු සේවයකුත් කරනවා කියලා.

            නිදහස් අධ්‍යාපනයෙන් දැනුම ලබා ගත්තු මේ රටට අවංකව ‌සේවයක් නොකරන උගත්යැයි සම්මත ඇතැමි පිරිස් වලට වඩා නිදහස් අධ්‍යාපනය රෝම කූපයකටවත් නොදැනුනු මේ මිනිස්සු වැඩිදුර ඉගෙන නොගත්තත් රටට ලොකු සේවයක් කරනවා කියලා මට හිතුනා. කාටවත් දොස් පවරනවා නෙමෙයි .ඒ මට හිතුන වදිහ.

            හැමදාම උදේට පාර අතුගාලා පාරේ කුණු අයින් කරනවා වගේ හැම මොහොතකම තමන්ගේ හිතේ පල්වෙන කුණුත් ඒ විදිහට අයින් කරනවද කියන්න මං දන්නේ නැ. එහෙම පිරිසුදු සිත් ඇත්තවුන් වැඩිපුර බිහිවේවා කියලා මං බොහෝ විට ප්‍රාර්ථනා කරනවා. තේ කහට වල විතරක් කහට වැඩිපුර තියෙන හිතේ කහට අඩුවී යන සිත් පහල වේවා.

 

5 comments January 23, 2009

පෙම් බැදි හුදෙකලාව…..

 පුදුම ආසාවෙන් ගෙවෙන

විටෙක මහත් දුක් ගෙනෙන

සිතු ලෙස සැරි සරන

සිතුවිලි වලින් බරිත වන

නොයෙක් පැතුමන් මවන

වදන් නම් නොම දොඩන

තනි වු ලෝකයක් මැවෙන

සන්තාපයෙන් මියැදෙන

සන්තෝෂයෙන් පිබිදී යන

මහ හඩින් හැඩුම් එන

බොහෝවිට සිනහ නගන

තොල්පෙති නොසෙල්වෙන

බොහෝ දේ සිතග මැවෙන

සියලු තැන්හි සැරිසරන

නැවත මා අසලම රැදෙන

 

කිමද මෙහි ඇති අරුම

මා දැඩිව පෙම් බදින

නුඹ සොදුරු හුදෙකලාව

මා නිතර ලැගුම් ලන

 

1 comment December 10, 2008

මාගේ උත්තමාචාරය හා මාගේ කනස්සල්ල ….

 අද මේ සටහන කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. දින ගණනාවක්ම හිතේ දැඩි පසු තැවීමක් තිබුනා. ඒ හින්දම එක එක දේවල් ලියවුනත් පල කරන්න පුළුවං කමක් තිබුනේ නැ. ආයෙමත් කියෙව්වම මේක හරියන හොද සටහනක් නෙමෙයි කියලා හිතෙනවා. දැං ලියන්න ගත්තත් අන්තිමෙදි හරියන එකක් නැ කියලා හිතෙයි ද දන්නේ නැ. මගේ හිතට ආපු පසු තැවීම මොකක්ද කියලා බලනවා ඇති නේද ? වෙන මුකුත් නෙමෙයි මගේ සොහොයුරත් ඇතුලු විශාල පිරිසක් ඉතාම දැඩි කැපවීමෙන් ත්‍රස්ත ග්‍රහණයෙන් රට මුදා ගැනි ම සඳහා කරනු ලබන යුද්ධෙදි මේ රට වෙනුවෙන් මං මොනාද කරන්නේ කියන එකයි.

 දිගටම යන්න ! ජය අපටයි! ආදි නොයෙක් දේ කියලා ඔවුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරනු විනා මම මුකුත් කරලා නැ කියන හැගීම දැඩිව හිතට දැනෙනවා. මේක ඔවුන්ගේ රට විතරද ? රූපවාහිනියේ ඔවුන් වෙනුවෙන් යන වැඩසටහනට SMS එකක් යවලා, ඔවුන් වෙනුවෙන් වතුර බොතල් චොක්ලට් යවලා ඇත්තටම මං මගේ හිත රවට්ට ගන්නවා නේද කියලා දහස් වාරයක් හිතෙනවා. “හැමෝටම යුද්ධ කරන්න බැනේ, ඔවුන් කරන ඒ මෙහෙවර අගය කරනු විනා අපි වෙන මොකක් කරන්නද ? .” ඔක තමයි මගේ එක යාළුවෙක් මට දීපු උත්තරේ.. “ඉතිං ඔච්චර අමාරුවක් තියෙනවනං යනවකෝ හමුදාවට. ඔය ඕන තරං කෙල්ලෝ ගිහින් ඉන්නේ.” ඔන්න අනිත් එක්කෙනාගේ උත්තරේ. පුළුවං කමක් තිබ්බනං යනවා තමයි. නොයන්න හේතු තියෙනවා අහන්න එපා ඒවා. මං කියවපු පොතක රුසියාවේ මිනිස්සු ඒ රටේ සොල්දාදුවෝ යුද්ධ කරද්දි , තමන්ගේ රට වෙනුවෙන් පුදුම කැපවීමක් තිබුනා. ඒ මිනිස්සු තමන් කන කැම පාලනය කලා. ආහාර ඉතුරු කරගෙන යුධ වදින හමුදාවන්ට යැව්වා. පටන් ගැන්මේ ඉදලම පුදුම හැගීමක් තිබුනා. අපේ රටෙත් හුගක් අය ලග දැන් යම් හැඟීමක් තියෙනවා. ඒත් ඒ ඇතිද?

තවත් දහසකුත් එකක් ප්‍රශ්න හිත ඇතුලෙන් මතු වෙනවා. ඒත් ලියවෙන්නේ නැ. අ‌නේ මංදා මෙතනින් එහාට මුකුත් ලියා ගන්න බැ. මං මගේ රට වෙනුවෙන් කැප වෙනවා මදි කියන එක විතරක් තදින්ම හිතට දැනෙනවා.

 අව්වැසි නොබලා කරන මේ උතුම් මෙහෙවරට හද පිරි උත්තමාචාරය පුද කරනවා ආදරණීය සෙබල සොයුරන්ට මුළු හිතින්ම.

image-11

 

image-21

පිංතූර ටික ලැබුනේ යාළුවෙක් එවපු මේල් එකකින්.

6 comments December 5, 2008

ඔබ සිතුවාද ?…….

මේ සටහන ලියන්නේ 27වෙනිදා.අද දවස ගෙවිලා හෙට දවස ඇරඹෙන්න අඩහෝරාවක් වත් තව ඉතුරු වෙලා නැ. මීට සුළු මොහොතකට කලින් අහසෙන් භාගයක් තරු වලින් වැහිලා ඉතුරු භාගේ අදුරු වළාකුළු වලින් බරවෙලා තිබුනා. තරු දිහා බලන එක මට මහා ආශ්වාදයක් ගෙන එන දෙයක්. ඒත් තරු රටා වලින් පැහැදිවම අදුර ගන්න පුළුවං හත්දින්නත් තරු පොකුරයි ඔරායන් තාරකා රාශියයි විතරයි මට. :) ඒත් ඒ හැම දෙයක්ම වහගෙන පැතිරිලා තිබ්බ අදුරු වලාකුළු ටික නපුරු විදිහට මුළු අහසම වෙලා ගත්තා.දැං ඉතිං වහිනවා. කාලය ඉක්මනින් යනවා කියන එක මට දනවන්න වගේ තත්පර කට්ට වේගයෙන් දුවනවා. හරියට කාව හරි අල්ලන්න වගේ. වෙනත් කිසිම සද්දයක් ඇහුනේ නැති උනත් එළියේ වතුර වැටෙන හඩයි තත්පර කට්ට දුවන සද්දෙයි විතරක් කං දෙකට ඇහෙනවා. සටහනක් තබන්න විශේෂ අරමුණක් නැති උනත් සිතේ ඇතිවන සිතිවිලි ටික නං ඔහේ කොලේ උඩ ලියවෙනවා. මේ සටහනේ මුල මැද අග ගැලපීමක් තියෙයිද කියන්න නං දන්නේ නැ. එහෙම ගලපලා ලියන්න තරං විශේෂ හැකියාවකුත් මට නැ.

 මේ විදිහට ගෙවෙන මොහොත වන විටත් දැඩි අසීරුතා මැද ජිවත් වෙන මිනිසුන් ඕනෑ තරම් මේ ලෝක ධාතුව තුල ඇති. අසල්වැසි රටේ තවමත් නිවා ගත නොහැකිව ගිනි දැල් ඇවිලෙමින් අහිංසක ජිවිත රැසක් බිල්ලට ගත් දරුණු ත්‍රස්ත ප්‍රහාරයකි.

පුරා වසර ගණනාවක් සිට එවැනි අත්දැකීම් ගණනාවකට මුහුණ දුන් ජනතාවක් වෙසෙන මගේ මව් රටේ විරෝධාර සෙබළුන් උතුරුකරයේ ත්‍රස්ත මර්ධනය වෙනුවෙන් කරන සටනකි.

තවත් පිරිසක් ස්වභාව ධර්මයේ අනපේක්‍ෂිත ප්‍රහාරයන්ට ලක්වෙමින් දැඩි අසීරුතාවයක සිටිති.

මා සටහනක් තබන්නට උත්සාහ ගන්නේ වර්ෂාවෙන් පරිසරයේ නිහඩ බව බිඳ දැමුවද මාහට නිහඩ යැයි හැගෙන පරිසරයක වුවද මිනිසා විසින් මිනිසාට එරෙහිව ගොඩනගාගත් සමාජ වතෘවරණයක සිට යැයි සිතේ.

සියළු සතුන් බෝහොවිට විවිධ හේතුන් නිසා කලහකාරීය. මෙය හුදෙක් මා සිත තුල ඇති වු සිතුවිල්ලකි. මනසින් උසස් යැයි සැලකෙන මනු සතාද කලහාකාරයකු නොවිය හැකිද? තම සිත් වල ඉපැදෙන කලහාකිරීබව , ප්‍රචණ්ඩත්වය , ද්වේශය ,තරහව ආදි නොයෙක් සිතුවිලි වලට අනුකූලව යමින් එය මැඩ පවත් වනු විනා එය තව තවත් වැඩි කරගැනීම වස් විවිධ උපකරණ, ආයුධ , ජීවී නාශක දැ නිර්මාණය කල හා නිපදවු එකම සතාද මනු සතාවේ.

 මේ සියළු ආයුධ හා උපකරණ නිර්මාපකයන්, නිපදවුවන් කලහාකාරීන් හෝ ප්‍රචණ්ඩත්වය තම සිත් තුල ඇති කර ගත්තවුන් බවට මා එකඟ වන්නේ හෝ නොවන්නේ නැත. ඒ පිළීබඳව අදහසක් වත් මතු නොකර සිටීම වඩා උචිත බව පමණක් මට හැගේ. එයට එකඟ වීම හෝ නොවිම අදාල පුද්ගලයා සතුය. කෙසේ වුවද ඇති වු මේ දියුණුව භායානක දේ රැගෙන එන්නක් බව නම් සිතෙයි.

 සියළු සත්වයෝ නිදුක් වෙත්වා ! නිරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා ! යැයි නොසිතන සිත් පිත් නැති සමාජයක එක් අයෙකුගේ හෝ කීපදෙනෙකුගේ, තමා වෙත බලය ලබා ගැනීම හෝ වෙනත් අභිලාශයන් මුදුන් පමුණුවා ගනු පිණිස කෙරෙනු ලබන යුද්ධයේදි හෝ වෙනත් ක්‍රියාදාමයකදී කිසිම අරමුණක් නැතිව අමාරුවෙන් ලද ජිවිතය නැතහොත් තම හුස්ම පොද අනෙකාගේ බල තණ්හාව හෝ ආත්මාර්ථය සාක්‍ෂාත් කරදීම වෙනුවෙන් බිලි දී අවාසනාවන්ත ලෙස වෙඩි උණ්ඩයෙන් ජිවිතය හමාර කරන අහිංසක මිනිස් ශරීර මත හිද ඔර්වලසන් හඩ නගන මිනිසුන් සමුහයක් මට පෙනේ.

 වර්ණ භේද , ජාති භේද , ආගම්, කුල ආදී වු විවිධ භේදයන් ඔස්සේ කණ්ඩායම් ගතවී සිටින මිනිසා අනෙකාගේ කදුළු සෝ සුසුම් මතින් තම ජිවිතය ගොඩනගමින් සිටී.

 ඔබ තුල වර්ණ , ජාති, කුල, ආගම් ආදි ලෙස භේදයක් තිබුනද නොතිබුනද තමා වැනිම වූ මිනිස් ජිවිතයක අහිංසක බලාපොරොත්තු බිඳ දමමින් ඒ මිනිසාගේ උණු කදුළු සෝ සුසුම් මත තම ජිවිත අභිලාෂයන් ජිවිත අරමුණු ආදි වු විවිධ දේ ගොඩනගමින් සිටින අයෙක් යැයි මොහොතකට හෝ සිතුවාද ?

අනෙකාගේ අනාගතය, බලාපොරොත්තු , සිහින බිඳ දමමින් ඔබ සුවසේ සැතපෙන බව මොහොතකට හෝ සිතුවාද? ඔබ ත්‍රස්තවාදියෙකු හෝ වෙනත් අපරාධකාරයෙකු ‌හෝ නොවුවද අනෙකාගේ සම්බන්ධකම් ,සිහින , පැතුම් එක මොහොතකින් බිඳ දැමීමට තරම් මනුසත් බවේ උතුම් අයෙක් ද ?

ඔබේ දෙපා මුල වැද වැටී ජිවිතය , ආදරය , සෙනෙහස , දයාව , කරුණාව, අයිතිය ඉල්ලා සිටින්න වුන් ඔබ තඹයකට මායිම් කලාද? ඔබ ඉදිරියේ දැත් එක්කොට වැද නොවැටුනද ඔබෙන් ජිවිතය , ආදරය , සෙනෙහස යදින විට , තම අනාගතය බිඳ නොදමන්න යැයි කියන විට ඔබ ඊට ඇහුං කන් දුන්නාද ?

 ඔබ වැනිම වු හදවතක් ඇති අයෙක් ඔබට ඇවිටිලි කරන බව මොහොතකට හෝ සිතුවාද ?

නැත. ඔබ තමාගේ ඒකායන අරමුණ අත්පත් කර ගැනීම යයි යන තැන සිට අනෙකාගේ සිතට එබි නොබලමින් කුරිරු ලෙස අනෙකාගේ සිත බිද දැමුවා නේද ?

බෝහො අය අනෙකාගේ කදුළු මතින් තම ජිවිත ගොඩනගයි. එහෙත් තමා එසේ කරන බව නොදැනෙන්නේ මන්දැයි මාහට නොවැටහේ. සැම සියළු දෙනාම ඉහත ආකාරයෙන් නොහැසිරුණද ප්‍රතිරුප මවාගත් හෝ මවා නොගත් බොහෝ පිරිස් එසේ කරයි. ඇතැම් විට මෙය කියවන ඔබට මෙය අදාල නැත . නමුත් මෙය කියවන ඇතැමෙක්ට අදාල වන්නට ද හැක. උද:- ඔබ ආදරයේ සුවය ලබන්නේ තව කෙකුගේ ඇසට කදුලක්, සිතට සෝ සුසුම් දීමෙන් නම් ඔබ මනුසත් බවේ උතුම් සතෙක්ද ?

 

 ඇසට කදුළු උනනවා

පිටට නොපෙනෙන්න එය සඟවමින්

දහසකුත් එකක් පැතුම් පුරනවා

සියලු සුසුම් දෝත දරමින්

පියුමක් වන්නට පෙරුම් පුරනවා

අවසන පියුම් පත්‍රයක් වෙමින්

හදේ සෙනෙහස දෝරේ ගලනවා

පියුම් පත මත කිසිත් නොරදවමින්

ලොවට පෙනෙන්නට සිනහා නගනවා

රහසේ හිද කදුළු පෙරමින්

සියළු දේ අත් හරිනවා

මගේ යැයි කිසිත් නැති බව පසක් කරමින්

මහ හඩින් යලි සිනහා නගනවා

සියල්ල අත්හැර නිදහස් වීමෙන්

පියුම් පත්‍රයක් වුවේන් ඉපිල නටනවා

එය මෙන් සිත මත කිසිත් නොරැදවීමෙන්.

2 comments November 28, 2008

අරමුණ නම් මිරිඟුව කරා ………..

අරමුණ නම් මිරිඟුව කරා

ගමන් කෙලෙමි අදිටනින්

ලගට යන්න යන්න එය මිරිඟුවක් බව

පසක් නොවන තරමට මා එයට පෙම් බැදිනි

එකවර කඩා වැටුණු මහා කුණාටුවක්

මගේ අරමුණ සුනු විසුනු කර

මහ හඩින් සිනා සෙන්නට විය

මිරිගුවක් බව දැන දැන මා දිගින් දිගටම ගමන් කරමි

එහෙත් අරමුණක් නැත

දවස් ගෙවමින් ජිවත් වෙමි

නමුත් ජිවිතයක් නැත

මුලට ගොස් නැවත් ගමන් ආරම්භ

කිරීමටද නොහැක

ගමන් මගේ මුල දූවීලි ගොඩක් වී

සුනු විසුනු වී ගොස්ය

ජිවිතයක් නොමැති ජිවිතය

මා දෙමං හංදියක නවතා දමා ඇත

එක් පසෙකින් දැත් දිගු කර

මා ඔවුන් දෙසට කැදවන සහෘදයන් පිරිසකි

අනෙක් පස කිසිවෙකුත් පෙනෙන්නට නැති

කෙළවර සුපහන් ආලෝකයකින්

ආලෝකමත් වූ මාවතකි

මා සිත දෙකට පැලි දෙපසට ඇදි යනු දැනේ

දැඩි වෙසක් දරා සිත එකතැන් කර ගතිමි

දැන් මා ගමන් අරඹන මග කුමක් වේද?

එහි මට අරමුණක් ඇති වේද?

එහි මට ජිවත් විය හැකි වේද?

 

4 comments November 10, 2008

තාර්කිකව අරඹා හර බැර වී ගිය සිතුවිල්ල

තාර්කික ද්වාරයකින්

තර්ක සංඥාවක් ලෙස පිටවු සිතුවිල්ල

අනාකූල ප්‍රවාහයක දුස්ස්‍රාවීතාවයෙන් මිදි දුවවිත්

සංසක්ති ආසක්ති බලයට හසුනොවී

ගුරුත්වය යටතේ ඔක්සිජන් අණුවක සිරවිනි.

ඉදින් නාස් පුඩු ඔස්සේ ග්‍රසනිකාව පසුකර

පෙනහල්ල කරා ගොස්

ගර්ත කෙළවර ස්පර්ශ කර

CO2 අණුවක් තුලට පැනගත් සිතුවිල්ල

එම මාර්ගයෙන්ම පිටතට විත්

මේසය මතවු ලාභලාභ ගිණුමකට පැන ගති.

එයින් ආරම්භක තොගයට බැරවී

අවසන් තොගයට හරවී

නැවත විකුණුමෙන් අඩු වී

දළ ලාභය තුලට පැන ගත් සිතුවිල්ල,

එහාට බැරවී මෙහාට හර වී

අසීරු ගමනක් ඇරඹීය.

බොහෝ වේලාවකට පසු ශුද්ධ ලාභය

ලෙසින් මතු වු සිතුවිල්ල

වත්කම් වගකීම් හිමිකම් ලෙසින්

ශේෂ පත්‍රයේ දෙපස සමාන කර

අසරණ ලෙස විගණනයටද ලක් විය.

විද්‍යාත්මක ක්‍රමය යටතේ නැවත කළමණාකරනය වු සිතුවිල්ල

මාගේ නියොජිත ගිවිසුමටද පයින් ගසා

තවත් දුර යා ගත නොහැකිව

ඇස්පියන් තුල නින්දට වැටුනි.

 

 

*මේ දවස් වල තියෙන ආතතියෙන් ලද උත්තේජනය නිසා කොලේට විසිරිච්ච සිතුවිලි ටිකක්. :)

 

8 comments November 6, 2008

සොබා දහම, ඔබ සුන්දරයි, විශ්මිතයි, අවංකයි

සොබා දහම, ඔබෙන් මා ලද ප්‍රාණයට නැතහොත් මාගේ ශරීරයට

ඔබෙන් ඇයදුමක් හෝ අවසරයක් නොමැතිව හැකිතාක් සැප ලබා දුනිමි.

දුකක් නම් දෙන්නට සිතුනේම නැත.

එහෙත් මේ ශරීර කුඩුවෙහි පඨවි ආපෝ තේජෝ වායෝ

නැතිවු දාට…..

මා කොතැන නම් ලැගුම් ගන්නද ?

නැවත තිරිසනෙක් ප්රේතයෙක් භූතයෙක්, අහම්බෙන් හෝ මනුෂයෙක් ලෙස

ඔබ මට ලබා දෙන ප්‍රාණයද පෙර ලෙසම නැතිවෙනවා සිකුරුයි.

හිදින් කල්ප ගනන් මා අතනින් මෙතන්ට මෙතනින් අතන්ට

අහිගුණ්ඨක යෙකු සේ මාරු වෙනවා හැර

වෙනත් කිසිදු දෙයක් කර නොමැත්තේද ?

මේ ශරීරය දරාගෙන ඉගෙන ගත්තා ඉගැනුවුවා, කැවා බීවා කියා

ඔබ මට මාරු නොවි සිටිමට ඉඩ දෙන්නේ නැත.

ඉදින් මා කෙලෙස නම් මේ මාරුව වනතාලන්නද?

සොබා දහම, ඔබ මෙලෙසින් මට දඩුවම් දීම නවතා ලන්නේ කවදාද ?

මා තීරණයක් ගත යුතුව ඇත.

නැවත ඔබට මට දඩුවම් නොදිය හැකි තැනක් සොයා ගත යුතුව ඇත.

කෙසේ හෝ එතැනට යා යුතුව ඇත.

අන්න එදිනට ඔබට මා තුති පුර්වකව ආචාර කරමි.

 

සොබා දහම, ඔබ සුන්දරයි, විශ්මිතයි, අවංකයි.

ඔබේ මේ දඩුවමේ ඇති අරුත මා තේරුම් ගැනීමට උත්සාහ කරමි.

එලෙස ඔබගේ දඩුවම් විදිමින් වුව, 

එය තේරුම් ගැනීමට ඔබ මට ලබා දුන් මේ මනුෂ්‍ය ප්‍රාණය වෙනුවෙන්

ඔබට මාගේ ප්‍රණාමය පුද කරමි.

4 comments November 3, 2008

Previous Posts


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats