කෙසේ නම් ඉවත යන්නද ….කාසි නොදමා………

කඩි මුඩිය සියත දැරු
බර අඩි වලින් ඇවිද යන
හිමිදිරිය…..
දුර ඈතින්ම දසුන් වන
අඩියටම ගිලී… තෙත් වුන් දෑස්
පහන් කණුවකින් සෙවන ලැබ…
නිරතුරුව විලිවසන ..කහවන් ඔසරියෙන් හැඩවුනු
පාරටම අත පොවන රැලි වැටුණු කෙසඟ දෑත්
දිගු කලක් ගෙවු දිවි මගේ කටුකොහොල් ලංසුවෙන්
“අනේ… කන්ට දෙයක් පුතේ”….
කුසගින්න පයින් ගසන වේදනා පිරි හඩ පරදවා
කෙසේ නම් ඉවත යන්නද
කාසි නෝට්ටු නොදමා………

February 27, 2010 at 3:37 pm 2 comments

ජීවිතය නොහොත් Life

දෑත් දිගු කොට අයදින ජිවිතය හා

කට ඇර බලා සිටින මරණය අතර විහිදුන

මලින් බර වී ගිය කටුකොහොලින් පිරි

මාවතේ ඇවිද යන විට

ඇහිදගත් මතක පොතේ පිටු පෙරලමින්

එහි වු රසමුසු සුමිහිරි තැන්, දුක් මුසු තැන්

කියවමින් කදුළු වගුරවමින් සිනහ නගමින් මාවතේ වු

අසුන මත වාඩි වී හිදින විට මෙලෙස සිතුනි.

“පටන් ගත් තැන සිට මේ දක්වා

හැල්මේ දුවමින් ආ දිවිය අතර මඟ

ලද කෙටි විවේකයේ මතක පොත පෙරළුවේ

සිනහා නගන්නට මිස කදුළු වගුරන්නට නොවේ.”

February 20, 2010 at 4:26 pm Leave a comment

ඒ මිහි අම්මට ඇගේ හැම දරුවෙක්ම වටින නිසා ලු…….

අපි Homo Sapiens Sapiens ලු

Chordata වංශයට ආඩම්බරයක් ලු

විශ්වයටම අණසක පතුරලා ලු

ඉතිං අපි උත්තම mammalia ලු

කොන්ක්‍රීට් කණු වලට අපි හරිම ආදරෙයි ලු ,

වනාන්තර කාන්තාර කරන්න අපි හරිම දක්‍ෂයිලු ,

New Millennium එකට මේවා හරිම Simple ලු ,

අපි ඉතිං animalia රාජධානිය තුල විශිෂ්ඨයි ලු ,

අනෙක් animalia වෝ නෂඨ කරන එක අපේ වගකීමලු ,

අනාගත වංශයට අපි විතරක් පරිණාමය වුනාම ඇති ලු ,

සංරක්‍ෂණය මොකද්ද ඒ ඒවා අපි දන්නේ නැතිලු ,

අපිට ඊට වඩා කරන්න වැඩ තියෙනවලු ,

මොකද…. අපිට අපේ පරිසරය අමතකවෙලා ගොඩක් කල් ලු ,

Primata වෝ ආදි අපේ මුතුන් මිත්තෝ , අපි හඳුනන්නේ නැතු ලු ,

අපි අමතක වීමේ රෝගයට ලක්වෙලා ලු ,

පෘතුවියේ රජ වංශය අපි ලු ,

මහ පොළොව අපේ අම්ම බව අපිට අමතක වෙලා ලු ,

අම්මගේ ආදරය ගලා ගිය ගංගා, ඇළ, දොළ අපි විනාශ කරල දමනව ලු ,

අම්මගේ වස්තුව ශාක වැස්ම, ඉවත් කරලා ගොඩනැගිලි හදනවලු ,

අපිට තියෙන මහ මොළය වැඩ කරන්නේ ඒ විදියටලු ,

ඒ අතින් අපි හරිම intelligent ලු ,

අපි විනාශ වෙන බව තවම අපිට තේරුණේ නැති ලු ,

අපි ආදරේ නැතත් …… පිරිසරය අපිට ආදරෙයි ලු ,

ඒ මිහි අම්මට ඇගේ හැම දරුවෙක්ම වටින නිසා ලු…….

රජීව ඒකනායක

ඉහත සඳහන් සටහන මා විසින් උපුටා දැක්වුවක් . තරුණ සත්වවේදීන්ගේ සංගමය මගින් ප්‍රකාශයට පත් කරන ලද “පණීවුඩය” සඟරාවේ 2005 අප්‍රේල් – සැප්තැම්බර් කලාපයේ රජීව ඒකනායක සොහොයුරා විසින් තබන ලද සටහනක්. මා ඔහුව පෞද්ගලිකව හැදින නොගත්තත් ඔහුගේ අවසරයකින් තොරව මගේ බ්ලොග් පිටුවට එකතු කරන්න හිතුවේ පහුගිය දවස් වල පුවත් විකාශයන් කීපයක් මගින්ම පරිසරය පිළිබ ද විවිධ පුවත් අහන්න ලැබුන නිසා. පරිසරය හා මිනිසා කියන තැනදි මිනිසා විසින් පරිසරයට කරන අකටයුතු කම් අකම්පිතව විදරා ගනිමින් සිටින පරිසරය කොයි මොහොතක හෝ ඒ කරපු දේ වෙනුවෙන් දඩුවම් ලබා දෙනවා. ඒක මේ මිහිතලය අරක් ගත් කොයි සත්තවයටත් පොදුයි. ඒකනේ ඔය එක එක කාල වලදි විවිධ පාරිසරික වෙනස්කම් වලින් අපි පීඩා විදින්නේ. මෙවැනි දේවල් ඇහෙද්දි ඉහතින් සදහන් කල සටහන නිතරම මට මතක් වෙනවා.

පරිසරය (ස්වභාවධර්මය) හුදෙක් මිනිසා විසින් වෙනස් නොකල යුතු ඒ අනුව මිනිසා වෙනස් විය යුතු දෙයක් ලෙස මා දකිනවා. ඔබට මේ මහ පොළොව මත හිදින්නට ජීවත් වන්නට ඉඩ දුන් මිහි මාතාවට ඹබ සැබැ ලෙස කෘතගුණ වන්න. ඇයට ආදරය කරන්න, එවිට ඇය ඔබට සැබැ ලෙස ආදරය කරාවි, ඇය ඔබ රැක ගනීවි.

September 30, 2009 at 1:19 pm Leave a comment

සුදු කළු අළු වු අපි……….

සැබැවින්ම අරුම ජීවීතය නම් වේදීකාව මත

ජිවිතේ අරුම මේ යැයි” කියා පාන වේදිකා නාටකයක

රඟදෙන චරිත අතර

අළුත් මිශ්‍ර වූ සුදු කළු අළු චරිතයකි

ඔබ සහ මම………..

හුඟක් දවසකට පසුව පුංච් සටහනක් තියන්න හිතුනා. ජිවිතේ විවිධ දේ එක්ක පොරබදින අපි තත්පරෙන් තත්පරය ඊගාව මිනිත්තුව ජීවත් වෙන්න ඕන අරමුණු හොයන වේලාවල් අනන්තයි.හිතට එන දේවල් ඔහේ ලියෙව්වට මේ කියන දේවල් එකකට එකක් ගැලපෙනවද කියන එකනං මං දන්නේ නැ. ඒ වුනත් ගැලපුනත් නැතත් ලියන්න ඔන කියලා හිතුනම ඔහේ ලියලා දාන එක මගේ පුරුද්ද. හුගක් වේලාවට අපි අපිටම කියලා ගැ‍ලපෙන දේවල් කරනවත් අඩුයිනේ. ඔය ‍ගැලපෙන නොගැලපෙන දේවල් එක්ක දිගහැරෙන ජීවිතේ ගෙවද්දි හමුවන වෙන් වෙන මිනිසුන් අතරෙත් විවිධාකාර නොගැලපීම් තියනවානේ. අන්න ඒ වගේ නොගැලපෙන කෙනෙක් මීට සති දෙකට කලින් මාත් එක්ක කතා නොකර ඇරියා. හැබැයි ඒ සිදුවුන දෙයින් වැඩියම සතුටු වුනෙත් මම. අපි කියන්නෙ ඔය ඇතුවත් බැරි නැතුවත් බැරි කරදරකාර මිනිස්සු අපි වටා ඉන්නවා , අතඇරගන්න ඔන ඒත් අතාරින්න ක්‍රමයක් නෑ කියලා. ආන්න ඒ වගේ කෙනෙක් ජිවිතෙන් දුරස් කරගන්න පුළුවං උන එක ගැන මං හරි සතුටු වුනා. සමහර වෙලාවට කෙනාගේ හැටි අපිට තේරුනා‍ට තවත් කෙනෙක්ට නොතෙරෙන්න පුළුවං. අපි අපිට ආවේනික කෝණවල ඉදගෙනනේ අනිත් කෙනා දිහා බලන්නේ. ආදාල පුද්ගලයා ගැන මට තේරුනාට මගේ සමීපකෙනෙක්ට නොතේරෙනවනං පැහැදිලි කරලා තේරුමකුත් නැ. ඒ ගන්න උත්සාහය මම සිංදුවක් අහන්න යොදා ගන්නවා ඊට හොදයි. ඇත්තෙන්ම මගේ සටහනේ සඳහන් කරන පුද්ගලයා මිතුරෙක් වෙලා හිටියා. හැබැයි ඒ මිතුරුකම යට වෙන මොකක්දෝ දෙයක් හැංගිලා තිබුනා. මේ සිද්ධියත් එක්ක හිතට ආපු අදහස් ටිකක් තිබුනා ආන්න ඒ ටික සටහන් කරන්න තමයි මේ සටහනේ මුලික අරමුණ වුනේ. ඒක කියන්නත් මෙච්චර ලියන්න උනා. :) හැබැයි ඔය කොයි මනුස්සයා ලඟත් හුඟක් හොඳ දේ වගේම ටිකක් නරකදේ තියෙනවා කියන එක මං විශ්වාස කරන දෙයක් , ටිකක් තියෙන නරක දේ වෙන කෙනෙක් ඉදිරියෙදි ඉස්මතු වෙන්න ගත්තම හුඟක් තියෙන හොඳ දේ නොපෙනී යන්න පුළුවං. අන්න ඒ දේ ගැන විතරක් මිනිස්සු වෙච්චි අපි නොහිතන එක තමයි ගැටළුව.

තමා හොඳයැයි තමන් විසින්ම අනෙකුන්ට පවසන

මුහුණ තුල සැඟව හුන් රුදුරු කපටි මුව දෙස බලා

අනේ අපොයි යැයි මුවින් පිට නොකර ඉවත ගියේ

ඒ රුදුරු මුව තරම් නිවට තිරිසන් සතුන්

ඊයේ සහ අද මම දැක ඇති නිසාත්

හෙට උදාවන දිනයේදී

තව තවත් දැක ගැනීමට ඇති නිසාත් වෙනි.

එළැඹි මොහොතට මා අසීමිතව ඇලුම් කරමි

ඒ මක් නිසාද යත්

නුඹේ ඔය කසි කබල් වාග් ප්‍රහාර කිසිදු වැඩකට නැති කුණු ගොඩට විසි කර දමා

මා උමතු ලෙස සිනාසෙන නිසාවෙනි.

September 12, 2009 at 8:24 pm 4 comments

එක මග යන මගීන්…

මදුර වු ගීතය පසෙකලා

කර්කශ හඩට ආයාසයෙන් සවන්දෙන

ජීවන බරින් ඔටුනු පලඳා

පිටතින් සුදු හුනු වන්

සූට් බූට් පැලදී

Hair Jel සුවද විලවුන් සුවදින්

පලාතම සුවද කරමින්

පීඩිත සිතේ ඇති කව

ලොවට නොපෙනෙන්නට

සැමටම තම දසන් පෙන්වන

ඔබ හා මා….

දිනෙන් දින ගරා වැටෙන

ශරීර කූඩුව

අසුනක් මත සතපවමින්

එකම මගක ගමන් යන

ගියන් පමණක් වී

සහෘදයන් හෝ මිතුරන්

නොවුයේ ඇයි?

March 24, 2009 at 11:19 am 5 comments

ජීවිත යාත්‍රාව සහ මහ පොළොව උඩ නිදාගැනීම

අද මේ ලියන්න හදන්නේ තවත් මනුස්සෙක් ගැන. කාගේ හරි පිටට පේන හැසිරීම් දිහා බලන්න මං හරි අසයි. එක එක අයගේ විවිධ හැසීරීම් . හැබැයි ඒ කෙනා අපහසු තාවයට පත්වෙන විදිහට නෙමෙයි මං බලන්නේ. හැබැයි ඒ කෙනාගේ හැසීරීම මගේ ඇස් දෙකට නීරීක්‍ෂණය වෙනවා කියලා අනෙක් අය දන්නේ නැ. ඒක මට ෂුවර්.

ලඟ ලඟ දවස් දෙකකදී හිතට ටිකක් දුක හිතෙන සිදුවීමක් දැක්කා. ඒ තමයි තරමක් මැදි වියේ අම්මාකෙනෙක් කිලුටු පහේ ඇඳුම් පොට්ටනියකුත් තුරුළුකරගෙන පාරේ පාටටම හරියන ඇදුමකුත් ඇදගෙන පාර අයිනේ බස් නැවතුමක් ලග නිදි. ඒ වෙලාවෙනං සැහෙන්න දුක හිතුනා. ඒ එක්කම මට හිතුනා මේ මනුස්සයා මට වඩා නිදහසේ ඉන්නවා නේද කියලා.

හැබැයි ඉතිං ඔය නිදහස කෙන කෙනාට වෙනස්. ඒ මනුස්සයාව පිටින් බලලා මට නිදහස් කෙනෙක් වගේ පෙනුනට ඒ අම්මා ඇත්තටම නිදහසේ නොවෙන්න පුළුවං ඉන්නේ.අපි හැමෝම බලාපොරොත්තු එක්ක ජීවත් වෙනවා. ඒ අම්මගේ හීනයි/බලාපොරොත්තුයි මගේ හීනයි/බලාපොරොත්තුයි අතරේ වෙනසක් තියෙනවා. ඇතැම් විට ඒ අම්මගේ බලාපොරොත්තුව මගේ බලාපොරොත්තුවේ මුල් අවස්ථාව. ඉපදිච්ච ඔන සතෙකුට තියෙන මූලික පැතුම බඩ පුරවා ගැනීම සහ නිදා ගැනීම. මං තුන්වේලට බත් කනවා, කාලා නිදාගන්නේ ඇදක. නමුත් අර නිදහසේ පොලොව මත නිදා හුන් ඇයට තියෙන බලාපොරොත්තුව තුන් වේලට නැතත් එක වේලකට හරි බත් හෝ මොනා හරි ආහාරයක් ගැනීම. ඇයට නිදා ගන්න වහලක් අවශ්‍ය නැ මේ වෙලාවේ. ඒක ඇය ක්‍රියාවෙන් ඔප්පු කරනවා. ඇය මම සහ ඔබ අහාර ලබා ගැනීමේ මුලික බලාපොරොත්තුවෙන් දවස ගෙවනවා. ඒක අනිවාර්යෙන් ලැබෙන හින්දා ඔබේ සහ මගේ මුලික බලාපොරොත්තුවක් විදිහට ඉස්මතුවෙලා පෙන්නේ නැ.අපේ මුලික බලාපොරොත්තුව නොහොත් අවශ්‍යතාව (කෑම) අනෙක් බලාපොරොත්තුවලින් වහගෙන . ඒක හින්දා බලාපොරොත්තුවක් විදිහට දැනෙන්නේ නැ. නමුත් අර අම්මට තියෙන බලාපොරොත්තුවම මටත් තියෙනවා. ඒක ඇගේ බලාපොරොත්තුවේ මුල මැද අග කියන හැම තැනම තියෙනවා. පිටින් බලන අපිට ඇගේ බලාපොරොත්තුව පුංචි එහෙම නැත්තං සුළු බලාපොරොත්තුවක් වෙන්න පුළුවං උනාට ඇයට ඒක ඇගේ එකම සහ මුලිකම බලාපොරොත්තුව.

ඇගේ ජිවන යාත්‍රාව මගේ එකට වඩා සැහැල්ලුයි. ඒක නිසා ඔහේ පාවෙලා යනවා. හබලක් අරගෙන හබල් ගන්න ඔන නැ. හුලං ආධාරයෙන් පාවෙනවා. මගේ ජීවන යාත්‍රාව මගේ වටේ ඉන්න අය එක්ක සසඳලා බැලුවොත් අර අම්මගේ යාත්‍රාව තරම්ම සැහැල්ලු නොවුනත් මගේ යාළුවන්ගේ යාන්ත්‍රාවන්ට වඩා සැහැල්ලුයි. ඔහේ පාවී යන්නේත් නැ හැබැයි වෙර දාලා හබල් ගන්න ඔනත් නැ. සැහැල්ලුවෙන් පොඩි හබල් පාරවල් දෙක තුනක් ගැහැවුවාම ඉස්සරහට යනවා.

මේ ජීවන යාත්‍රාව ගැන කිව්වාම ඒ ගැන හොද සරල සඳහනක් තිබුනා මං ලගදි කියවපු පොතක. පොත් නං මං හරි අඩුවෙන් කියවලා තියෙන්නේ. මේ මං දැං කියන පොත ලැබුනේ පොත් හුඟක් කියවලා තියෙන දැනටත් පොත් කියවන ඒ වගේම හොඳට ලියන්න කියන්න පුළුවං හැකියාවක් තියෙන නමුත් ලියන්න මහ කම්මැලි කමක් තියෙන යාළුවෙක් ගෙන්. පොත තමයි Jerome K. Jerome ගේ “Three Men in a Boat” කියන පොතේ ජනක මහබෙල්ලන පරිවර්තනය කරපු තේම්ස් නදියේ සවාරියක් කියන පොත. එක්තරා තැනක මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

ඔබේ ජීවිත යාත්‍රාව සැහැල්ලු කර ගන්න. අවශ්‍යදේ පමණක් එහි බහාලන්න. පුංචි නිවසකුත්, සරල විනෝදයත්, මිතුරන් දෙන්නෙකුත්, ආලය කල හැකි එක්කෙනෙකුත්, ඔබට පෙම් කරන අයෙකුත්, බල්ලෙක් බළලෙකුත්, දුම් පයිපයකුත්, ඕන තරම් කෑමත්, ඇඳුනුත් , බීමට යමකුත් සැහෙනවා. එතකොට ඔරුව පදින එක පහසුවෙනවා. පෙරලෙන්නෙත් නැ, පෙරලුනත් ගානකුත් නැ. කල් පවතින බඩු වතුරට නරක් වෙන්නෙ නැ. එතකොට ඔබට හිරු රැස් බීමට පුළුවන් වෙනවා. සංගීතය රස විදින්න හැකිවෙනවා.

මෙන්න මේ ඉහතින් සඳහන් කල වචන ටික මං පුදුම විදිහට වින්දා. ඇත්තටම පුරවගෙන තියෙන සමහරක් පොඩි පොඩි දේවල් ටිකක් ගඟට විසි කලොත් මගේ ජිවිත යාත්‍රාවෙත් බර තව ටිකක් නොදැනුවත්වම හරි අඩුවෙනවා නේද කියලා දැනෙන්න පටන් ගත්තේ ඒ වෙලාවේ. ඉහතින් සඳහන් කල ඔරුවේ තියෙන දෙයක් මගේ ඔරුවේ නැ. බල්ලේක් හෝ බළලෙක්, දුම් පයිපයක් හා තව එකක් දෙකක්. මං බල්ලන්ට පණ බයයි. ඒ නිසා මගේ ජිවිතේ බල්ලෝත් නැ බළල්ලුත් නැ. හැබැයි තිබිලා හෝ ලැබිලා නැතිවෙච්ච දේ ගැන වැඩිය නොහිතා තියෙන දෙයින් සතුට විදින්න දැං මට පුළුවං.

අපි සැප සම්පත් දුක් කරදර ආදි නොයෙක් දේ විදින්නේ විවිධාකාර විදිහට. ඒක කෙන කෙනාට වෙනස්. මිල මුදල් ලැබෙන්න ලැබෙන්න බලාපොරොත්තු අවශ්‍යතාවන් එන්න එන්න වැඩි වෙනවා. ලෝකය ගෝලාකාරයි නමුත් මිනිසුන් විවිධාකාරයි කියලා කියන්නේ ඔය හින්දා වෙන්න ඇති. අනේ මංදා ඔක ඔහොම නෙමෙයි ද දන්නේ නැ කියන්නේ. මට මතක විදිහ තමයි ඔය. කොහොම නමුත් ලෝකය ගෝලාකාර උනාට ඒකේ පැවැත්ම හරි විචිත්‍රයි. මිනිසුන් ඒකාකාර නොවී විවිධාකර උන එකේම තියෙනවා විචිත්‍රත්වයක් . නැද්ද මං අහන්නේ. ඒකනේ අර අම්මා මහපොළොවේ නිදාගෙන මං ඇදේ නිදා ගන්නේ. ගෙදරදි බිම නිදා ගත්තත් ඒ වහලයකින් වට වෙච්ච සෙමෙන්ති හෝ මැටි පොළොවක් උඩනේ. හැබැයි නිකම්ම මහ පොලොවේ එකම එක වතාවක් මාත් නිදා ගත්තා. ඒ කැම්ප් සයිට් එකකට උඩවලවේ ගිය වෙලාවේ. ගෙදරදි වගේ නෙමෙයි පොළොවෙන් එන නැවුම් සුවඳත් එක්ක කිසිම කම්මැලිකමක් නැතුව උදේ පාන්දර නැගිට්ටෑකි මහ පොළොවේ නිදා ගත්තාම. පින්න වැටිලා ඒ වැටිච්ච පින්නෙන් පොලොව තෙමිලා , තෙමිච්ච පොළොවෙන් එන නැවුම් සුවඳ විඳගෙන අවදිවෙනකොට අපිත් මේ ස්වභාවධර්මයාගේ කුළුපගයන් බව හොදට දැනෙනවා. ඒ අත්දැකීම වචනෙන් විස්තර කරන්න බැරි තරං මිහිරියි. ඇතමෙක්ට ඒක එහෙම නොවෙන්න පුළුවං. නමුත් මට දැනුනේ නං එහෙමයි.

මං අර ඉස්සෙල්ලා සඳහන් කරපු පොතෙත් තැනක මෙහෙම තිබුනා. එළිමහනේ නිදා ගන්නෙක්ට පාන්දරින් අවදි වෙන්න පුළුවං , පිහාටු ඇදක නිදාගන්නෙක් වගේ තව විනාඩි පහක් නිදාගන්නවා යන කම්මැලි සිතුවිල්ල පහල වෙන්නේ නැතුව.

පරිසරයත් එක්ක ජීවත් වෙන්න පුළුවං නං අපිට හුගක් අනපේක්‍ෂිත දේවල් දැකගන්න , විදගන්න පුළුවං. මට දැනෙන විදිහට පරිසරේ අමුතු තාලයක් තියෙනවා. හුළං හැමුවත් ඒකේ අමුතු රිද්මයක් තියෙනවා. හයියෙන් හැමුවත් හෙමින් හැමුවත් ඒ ඒ වෙලාවට හුළගට ආවේනික රිද්මයකින් තමයි හමාගෙන යන්නේ. කවදා හරි දවසක මුහුද ලගට ගිහිල්ලා මුහුදේ රැළිවලින් එන හෝ හඬට කන් දීගෙන ඉදලා තියෙනවද? ඒකෙත් තියෙනවා අමුතු තාලයක්. ගල් උඩින් පෙණ දදා ගලන ගඟක් ලගට වෙලා තනියම ඉදගෙන ඒ හඬට කන් දීගෙන ඉදලා තියෙනවද? ඒ හඬත් හරි මිහිරියි. හරියට ස්වභාවධර්මයා බෙර ගහා ගහා සිංදු කියනවා වගේ. ඒ හඩ මේ දැනුත් මගේ කන් වලට ඇහෙනවා.

කෙහොම නමුත් අපි අපිටම ආවේනික අපි තුල ගොඩනගා ගත්තු ලෝකවල ජීවත් වෙනවා වගේ හැඟීමක් මට තියෙනවා. ඒක අර අම්මටත් එහෙමයි මටත් එහෙමයි ඇතැමි විට මේක කියවන ඔබටත් එහෙමයි.

March 9, 2009 at 1:36 pm 5 comments

අහම්බෙන් දුටු මිතුරිය ……..

අද මං මේ සටහන ලියන්න හිතුවේ අහම්බෙන් වගේ . මේ අහඹුව පටන් ගන්නේ පසු ගිය දවසක හැන්දෑවක මගේ නෙත් දෙකට ප්‍රීතිදායක දර්ශණයක් ඇස ගැටුණු හින්දා. ඒ තමයි කාලයක් මගේ හොදම මිතුරිය වෙලා හිටපු කෙනෙක් මා බසයේ ජනේලයෙන් ඔළුව දමාගෙන සිටියදී ඇස ගැටීම. නමුත් මං ඇයව දුටුවත් ඇය මාව දැක්කේ නැ. බස් එක ඇතුලෙම ඉදගෙන හයියෙන් නම අඩගැසීමේ දඟකාරකමකුත් ඒ මොහොතේම ඔළුවට ආවා. ඒවා හිතෙනවා විතරයි කරන්න තරං ශක්තියක් නැ. එක් වරම බසයෙන් බැසයාමේ තදබල අශාවකින් සිතුවිලි නටන්න පටන් ගත්තා. මං ප්ලෑන් කරනකොට බස් එක ගිහින් ඉවරයි. දැං බස් එක නුගේගොඩ ගුවන් පාලම උඩින් යනවා. මිතුරියගේ දර්ශණය කෙමෙන් කෙමෙන් අතුරුදහන් වන තත්වයට පත් වන විටත් බසයෙන් බැස ගොස් ඇය හා කතා කිරීමේ උමනාව යටපත් වෙලා තිබුනේ නැ. කෙහොම නමුත් ඊලග නැවතුමෙන් බසය නැවතුනත් මා බසයෙන් බැස ඇ සොයන විට සත්තකින්ම ඇ අතුරුදහන් වී සිටිය නොහැකිදැයි හිත ප්‍රශ්ණ කරපු හින්දා ඉදගෙන හිටපු විදිහටම ඉන්න තීරණය කලා.

ශරීරයෙන් මා බසය තුල අසුන් ගෙන අනෙක් අයට දත් විලිස්සාගෙන හිටියත් සිතුවිලි නං මීට අවුරුදු 5 6ක් අතීතයට කාල තරණයක් කරමින් හිටියා. ඒ මගේ පාසල් කාලේ පිලිබඳවත් මීට මොහොතකට පෙර දුටු මිතුරිය සම්බන්ධ මතකයනුත් අතර.

ඇය මගේ පුංචිම කාලේ මිතුරියක් නොවුවත් 7 8 පන්තිවල හිටපු හොම යෙහෙලියක්. නමුත් 9 වසර මුල් කාලයේදී ඇය අපේ පාසලෙන් සමු අරගෙන මීරිගම පදිංචියට ගියා. අක්කාකෙනෙක් සහ නංගිලා 4කුගෙන් සමන්විත පවුලේ ඇය දෙවැනියා. පියා නැති පවුලේ බර කරට ගෙන හිටිය ඇගේ මවට මගේ මවට මෙන් දැඩි ස්නේහයක් මගේ හිතේ තිබුනා. නංගිලා මල්ලිලා නැති මට ඇගේ සොයුරියන් මගේ නංගිලා වගේ දැනුනා. ගීත ගායනයට නර්තනයට මේ අක්කා නගෝ හරි දක්‍ෂයි. ඇගේ අක්කා තමයි අපේ පාසලේ නිත්‍ය නිවේදිකාව උනේ.ඇ නිවේදන කටයුතු කරන විට අහං ඉන්න හරි ආසයි. ඒ දවස් වල අපි බලං හිටියේ ඈට Radio එකේ රැකියාවක් ලැබෙයි කියලා.

ඇය පාසලෙන් ඉවත්වන දවසේ මට මහා දුකක් දැනුනා. අපේ අම්මත් එක්ක කතා කරලා ඇයව අපේ ගෙදර නවත්වා ගැනීමේ දැඩි ප්‍රයත්නයකත් මං යෙදී හටියා. අපේ අම්මා කැමති උනාට ඇගේ අම්මාගෙන් ඒකට වැඩි කැමැත්තක් තිබුනේ නැ. මිරීගමට ඔවුන් ගියේ ඇගේ මවගේ දෙමාපියන් සිටි ප්‍රදේශය නිසයි. කොහොම නමුත් මගේ සොයුරිය වන් මිතුරිය පාසලෙන් අයින් උනා. ඒ අයින් වෙන දවසේ අප එකිනෙකාට පොරොන්දු උනේ අපේ මිත්‍රකම කිසිදාක අමතක නොකරන බවයි. ඒ වගේම නිතර ලිපි ලියන බවත් අපි එකිනෙකාට පොරොන්දු උනා. පොරොන්දුව නං ටික දවසක් කරගෙන ගියා. ඇය මටත් මා ඇයටත් ලිපි ලිව්වා.නමුත් උසස් පෙළ පංතිවලට එන කොට ඒ පොරොන්දුව ඒ ලෙසම ඉෂ්ඨ කරන්න අපි දෙන්නටම නොහැකි උනා.සමහර සමහර දේවල් කාලයත් සමඟ නැති වී ගියත් ඇය අදටත් මට හොදම මිතුරියක්.

මා ඇයව දුටු වෙලාවේ මට කෙසේ හෝ කතා කිරීමේ අවස්ථාවක් උදා උනානං බොහෝ විස්තර තිබුනා කතා කරන්න. නමුත් කාලය හෝ වෙන මොකක් හරි හින්දා ඒ ගමන වැලකුනා. නැවත් ලිපි ලිවීමේ උමනාවක් තිබුනත් මගේ නොසැලිකිලිමත් කම නිසාම ඇගේ ලිපිනය මා අතින් නැතිවෙලා තිබුනා. මිරීගමට ගිය ඇය නුගේගොඩ මක් කරනවද? පෙනුමෙන් ඇය රැකියාවක් කරන බවක් තමයි පෙනුනේ. ඒ සිතිවිල්ලෙන් මං සැහෙන්න සතුටු උනා. කොහොම නමුත් කාලයක් දැන හැදින ගත් මිනිසුන් අතරමගදි හමු වුවත් වචනයක් හෝ කතා නොකර ඉන්න සිදුවීම නං මහ දුකක්.

මගේ මිතුරියගේ මතකයනුත් සමඟ මතක් වෙන තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි එවකට අපේ පාසලේ හිටපු විදුහල්පතිනිය. මගේ ජිවිතයේ මා දැඩි ලෙස ප්‍රිය කරන චරිතයක්. මහා ගාම්භීර පෙනුමක් ඇයට තිබුනා. දුටු විගසම කුඩා අප තිගැස්සෙන පෙනුමක් ඇයට තිබුනද පාසලේ හිටිය හොදම විදුහල් පතිනිය ඇයයි. ඇගේ පාලන කාලය තුල පාසල තුල සිටි අප වගේම ගුරුවර ගුරුවරියන් ද මහත් ප්‍රබෝධයෙන් වැඩකටයුතු කලා.

ඇ විසින් නිතර පවසන දෙයක් මට තාමත් මතකයි. ඇතැම් විට එය මගේ ජිවිතයට ආදර්ශ පාඨයක්ද උනා. “ ළමයි ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න එපා කියලා “ ඇය නිතරම අපිට මතක් කරලා දුන්නා. ඒ වදන් පෙළ මුල් වරට මං ඇහුවේ ඇගේ මුවින්. මා හට ඇය ගරු කටයුතු කෙනෙක් වු නිසාම ඒ වදන් ඒ ආකාරයෙන්ම මගේ හිතේ තැන්පත් උනා. ඇය අපේ පාසලේම නිලනිවසේ පදිංචිවෙලා හිටියා. ඇය අප සැමදෙනාගේම මව වුවා සේම රැකවලා උනේද ඇයයි. හොදට හොඳ නරකට අන්තිම නරක අයෙක්. ඒ හින්දම බොහෝ ළමයි වැරදි කරන්න බය වගේම මැලි වුනා. පාසලෙන් පිට අප සහභාගීවෙන ඔනෑම උත්සවයකට තරගයකට මොහොතකට හරි ඔළුව දලා යන්න ඇය පුරුදුව හිටියා. ඇගේ ඒ පැමිණීම අපට මහත් ශක්තියක් වුවා සේම ඇගේ පැමිණීම අප අපේක්‍ෂා කලා. එතුමිය හැම ළමයෙක්ම බෙහොම සියුම් විදිහට උනන්දු කෙරෙව්වා. ඒ වගේම හැම ළමයෙක්ම බොහොම සියුම් ලෙස ඇගේ නිරීක්‍ෂණයට හසුවෙලා හිටියා. ඒ හින්දා ඇගේ ඇස් වහලා අහුනොවී කිසිම දඟ වැඩක් කරන්න පුළුවං කමක් තිබුනේ නැ.

කොතෙකුත් දඟ වැඩ හින්දා බැනුම් හා වේවැල් පාර ලැබුනු වෙලාවල් තිබුනත් ඊගාව මොහොතේ ඉතාම හොදින් ඇය අප සමඟ කතා බහ කලා. ඇගේ පාලන කාලය තුල අප නව ප්‍රාණීන් විදිහට තමයි පාසල තුල හිටියේ. සෑම අධ්‍යාපන චාරිකාවකටම ඇය සහභාගී උනා. එවිට ඇගේ විනෝද කාමී ලක්‍ෂණ හොදින්ම මතුවෙලා තිබුනා. පාසලේ තිබුනු නොයෙක් අඩු පාඩු බොහොමයකට පිලියම් ඇගේ පාලන කාලය තුල සැපිරුනා. මේ කාලය තුල අප විනෝදයෙන් ඉගෙන ගත්තාය කිව්වොත් නිවැරදි. සැබැවින්ම ඇය හොද මවක් වුවා.

මගේ පාසල් කාලයේ මට අමතක නොවනම අවධිය මා ගත කලේ ඇගේ පාලන කාලය තුලයි. හදිස්සියේම ඇ අපේ පාසලට විදුහල්පතිනිය වී ආවා වගේම හදිස්සියේම ඇ අපේ පාසලෙන් වෙනත් පාසලකට මාරු වී ගියා. ඇ පැමිණි දිනයේ මහා බයකින් සිටි සියළු දෙනා ඇ ඉවත් වන දිනයේ හිටියේ ඇසුවල කදුළු පුරෝගෙන. ඇගේ දෙපා නැමැද අවසන් වරට ආශිර්වාද ලබා ගන්නා අවස්ථාවේ හිතේ හංගාගෙන හිටපු කදුළු ඇස්වලින් ඇගේ දෙපාමුල වැටෙනවා මට තාම මතකයි. පාසල් ගොස් අවසන් වී සිටියත් ඒ අවස්ථාව සිහිවෙන කොට දැනුත් මගේ ඇස්වලට කදුළු එනවා.

ඇය දැන් සේවයෙන් විශ්‍රාම ගොස් ඇගේ දරුවන්ගේ දරුවන් රැකබලාගෙන විවේකීම සිටිනවා. මා මුළු හදවතින්ම ඇයට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

February 26, 2009 at 12:53 pm 10 comments

Older Posts


අතීත සටහන්

Blog Stats

  • 5,900 hits

Follow

Get every new post delivered to your Inbox.