Archive for May, 2008

සෙල් ලිපිය

දවසේ කුමන හෝ වේලාවක, ඕනැම මොහොතක ආයුබෝවන් කියා සුභ පැතීම ශ්‍රි ලාංකික වු අප සතුව අප දන්නා අතීතයේ සිට පැවත එන්නක්. සුභ උදෑසනක් සුභ මධ්‍යහනක් හෝ සුභ රාත්‍රියක් වශයෙන් දවසේ වේලාව අනුව සුභ පැතීමේ කලාව සුද්දාගෙන් අපට උරුම වු දෙයක් කියලයි මගේ හැගීම.මෙහි ඇති හොද හෝ නරක පිළිබදව කතා කිරීම නම් නෙවෙයි මගේ අද සිතුවිල්ල. මට මේ ගැන යමක් කියන්න හිතුනේ පුරුද්දට මේ වේලාවේ මේ ලිපිය කියවන ඔබට ආරම්භයේ දීම මං කොහොම සුභ පතා ආමන්ත්‍රණය කරන්නද කියන ගැටළුව මට ඇතිවුන නිසා . මගේ පලමු ලිපියෙනුත් ආයුබෝ වේවා කියා සුභ පැතු නිසා මේ ලිපියෙනුත් ඒ ආකාරයෙන්ම ආමන්ත්‍රණය කරනවාට ඔබ අමනාප වෙන එකක් නැ කියලා මම හිතනවා. ඔන්න එහෙනම් ආයුබෝ වේවා! ඒ වගේම සිනා බෝවේවා :) :) :)

මගේ පලමු ලිපියට  ප්‍රතිචාර ඒවු  ඒ හැමෝටම මගේ හද පිරි ස්තුතිය. :) නම් වශයෙන් මතක් නොකලට අමනාප වෙන්න එපා කියලත් කියන්න ඕන. මං ලියපු දෙයක් වෙන කෙනෙක් කියවන එකම මට ලොකු සතුටක්. :D

මේ ලිපිය ලියන්න කලින් මම මොකක් ගැනද ලියන්නේ කියන සිතිවිල්ලක පැටලිලා හිටියා. අදහස් කිහිපයක්ම ආවත් ඒ එකකටවත් හිත ලියන්න කියලා ඉඩ දුන්නේ නැ. පද ගැලපීම අතින් මම පන්තියේ අන්තිමයා නිසා කවියක්, පද වැලක් පල කරන්න තිබුන අදහස මම අතහැර දැම්මේ මුලින් මයි. කොහොමෙන් හරි  මම කියවපු පොතකින් මට හරි අපූරු අදහස් ටිකක් ලැබුනා. මට හිතුනා අද මං ඒ ටික මගේ ලිපියට එකතු කලොත් හොදයි කියලා. කෙනෙක්ට ඒකෙන් යමක් හිතන්න පුළුවං උනොත් ඒකත් ලොකු දෙයක් නේ. මේ පොත නිර්මාණ කරුවෙක්ට, ලේඛකයෙක්ට, මාර්ගෝපදේශයක් ලබා ගන්න පුළුවන් විදිහේ පොතක්. මම කියවපු හුගක් සිංහල බ්ලොග් පිටු අතර හුගක් හොදට ලියන්න කියන්න පුළුවන් අය හිටියා. ඒ අය හුගක් ඉදිරියෙන් ඉන්නවා. මම මේ ලියන වැඩේට බොහොම අළුත්, කොඩුකාරයෙක් කිව්වත් හරි.

යමක් නිර්මාණය කරද්දී විශේෂයෙන්ම ලිපියක් වගේ දෙයක් ලියද්දී තමන්ගේ හිත තුලින් මතුවන සිතුවිල්ල, සංවේගය වචන වලට පෙරලන්න කෙනෙක් විදින පිඩාව ලියපු දෙයක් ආසාවෙන් කියවන කොට ඇතිවෙන්නෙ නැති බව මට දැං හොදට තේරේනවා. මේ ලිපිය කියවන ඔබත් සමහරක් විට නිරන්තරයෙන් ලිපි ලියන නිර්මාණ කරුවෙක් වෙන්න ඇති.මේ විදිහට අපේ උතුම් භාෂාවෙන් අන්තර්ජාලයේ බ්ලොග් සටහන් ඉදිරිපත් කරන ඔබටත් තවදුරත් හොද නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථයත් මේ වේලාවේ මේ ලිපියට මම එකතු කරනවා.

ලිපියේ තුන්කාලක් විතර ලියලත් ඉවරයි. එත් තාම කියන්න හදපු දේ කියවුනේ නෑ. :D :D

මම මුලින් කිව්ව පොත මට හරි අහංබෙන් ලැබුන පොතක්. අතට ගනිද්දි මම හිතුවේ මම කියවපු අනිත් පරිවර්තන කෘති වගේ මේකත් ලස්සන කථාවක් කියලයි. පොතේ අන්තර්ගතය ගත්තාම කතා ගොඩක් තමයි. හැබැයි එකෙන් කියන්න හදන දේ හරිම ලස්සනයි. සමහරක් විට ඔබ මේ පොත කියවා හෝ පරිහරණය කරලත් ඇති. ඒක හින්දා මේ පොත කියවු අයගේ වැඩි දැන ගැනීම සදහාත් නොකියවු අයගේ දැන ගැනීම සදහාත් මගේ සිතුවිල්ල තුල මම මේ අදහස් ටික පලකරනවා.

මේ පොත තමයි රුසියානු ලේඛක කොන්ස්ටාන්ටීන් පවුස්තවුස්කිගේ ” THE GOLDEN ROSE” , පරිවර්ථන නාමය “රන් රෝස මල”. මේ පොත සිංහලට පරිවර්ථනය කරලා තියෙන්නේ ආරියවංශ රණවීර කියන ලේඛකයා. මේ පොතේ එක්තරා මාතෘකාවක් නමින් “සෙල් ලිපියක්” යටතේ පලකරලා තියෙන අදහස් ටිකක් තමයි මම මේ ඔගොල්ලන්ට කියන්න හදන්නේ. පොතේ තියෙන විදිහටම මම ඒ කොටස් කිහිපය උපුටා දක්වන්නම්. ඒ මොකද එහි අන්තර්ගතය මගේ වචනයෙන් කියනවාට වඩා ලේඛකයාගේ රසවත් වදනින් ඉදිරිපත් කරන එක ලේඛකයාට කරන ගෞරවයක් වගේම ඒ විදිය තමා වඩා හොද කියලා මට හිතුනා. සමහර විට හිතෙයි ඒ වචන ටිකක් බර වැඩි කියලා, ඇත්තටම මටත් එහෙම හිතුනා. ඒත් ඒ වචන ඒ වදියටම ලියවෙන්න ඕන කියලම හිතෙනවා.

“……. ගම‌ට නුදුරින් වෙරළ ඉමේ එක් සෙල් කුළක් නැගී සිටියි. බෝහෝ ඉහත දී ධීවරයන් විසින් කොටන ලද සෙල් ලිපියක් එහි වෙයි. “මුහුදේ දී නැතිවුණු, ඉදිරියට ද නැතිවීමට නියමිත අය සිහි වීමටයි “යන්න ඉන් කියැවෙයි.

ලැට්වියන් ලේඛකයකු මේ සෙල් ලිපිය ගැන විස්තර කියු විට මට සිතුනේ අනෙක් හැම ස්මරණ වාක්‍යයක් මෙන්ම මෙය ද ඉතා දුක් උපදවන බවයි. එහෙත් ලැට්වියන් ලේඛකයා මෙය අසා මා සමග එකග නොවී හිස සෙලවීය.

“නෑ නෑ මේක බොහොම එඩිතර සෙල් ලිපියක්. මිනිසාගේ නොපසුබස්නා වීර්යයට මෙය සාධකයක්. ශ්‍රමය හා පීඩාව ඉදිරියේ මිනිසාගේ නොසැලෙන ශක්තිය විස්තර කෙරෙන කෘතියක ආප්ත වාක්‍යය ලෙස මෙය යෙදීමට මා පැකිලෙන්නේ නහැ” මම ඔහු හා එකග වීමි. ඒ එක්කම මට කල්පනා වූයේ මේ ආප්ත වාක්‍යයම සුදුසු වෙනස්කම් සහිතව ලේඛකයින්ට හා ඔවුන්ගේ ලේඛක කාර්යය විස්තර කිරීමට යොදා ගත හැකි නේද යන්නයි.

බාධක හා දුෂ්කරතා හමුවේ ලේඛකයකුට කිසිසේත් පසු බැසිය නොහැකිය. කවර දෙයක් සිදු වෙතත් ඔහු පෙර සිටි සහෝදර ලේඛකයින් කළ කාර්යය ඔවුන්ගෙන් භාර ගෙන, ඒ සද් කිර්යයට වර්තමාන ජනතාව වෙනුවෙන් උර දිය යුතුය. සාහිත්‍යය නිමේෂයකට හෝ නිහඩ වීම වුවද ජාතියක මරණය හගවන බව කී සැල්ටිකොව් ෂෙරීඩන්ගේ කීම මොන තරම් සත්‍ය කියමනක් ද?

ලේඛක කාර්යය හුදෙක් ශිල්පයක් හෝ ජීවනෝපායයක් පමණක් ලෙස ගණන් ගැනීම අතිශයින් සාවද්‍යය. ලේඛන කාර්යය යනු නිර්මාණය සදහා ඇතුළතින් පැන නගින උද්වේගයේ බාහිර ප්‍රකාශනයකි.

ලේඛකයා විසින් එකී උද්වේගයට පීඩනයත් ආස්වාදයත් යන දෙයාකාර චිත්ත තත්වයන් මැද්දේ හිස නමනු ලැබීමට බලපාන්නේ කුමක්ද?

පළමුවෙන්ම – ඔහුගේ හදවත අණ දෙන හඞගෑමයි.

හෘදය සාක්ෂියේ හඞත්, අනාගතය පිළිබද අචල විශ්වාසයත් ඇති යම් තැනැත්තෙකුට සිය අභ්‍යන්තරයේ ජනිත වන ලීවීමේ ආශාව මැඩ අර්ථශූන්‍ය ජිවිතයක් ගත කිරීමට නොහැකිය. ඔහු තම අධ්‍යාත්මයේ පිරී ඉතිරෙන ආවේගයන් පිට කල යුතුය.

එහෙත් මිනිසකු, ලේඛකයකු බවට පත් කිරීමට ඔහුගේ හදවතේ හඩගෑම පමණක් ප්‍රමාණවත් නොවේ. බොහෝ විට ජීවිතයේ තුරුණු වියේ, අපගේ හැගීම් තවමත් ජිවිතයේ රළු පහරින් බැට කා ඔප මට්ටම් නොවී තිබියදී, තුරුණු ලේඛකයෝ සිය හදවත් විදාරණය කරති. එහෙත් අප වඩාත් පැණසර වන තලතුනා වියේ දී අප වඩාත් ප්‍රබල හඩගෑමකට කන් දෙමු. ඒ හඩ අප ජිවත් වන කාලයේ ජනතාවගේ හඩයි. මනුෂ්‍යත්වයේ හඩයි. මිනිස් දෘෂ්ටියෙහි සුනිශිත බව ඔප් නැංවීමට කිසියම් දෙයක් හෝ කරන්නට අපි මහත් ඕනෑකමක් දක්වමු.

අපායේ අග්නි ජලා තුලින් ගොස් මහත් වූ පෙළහර පෑමට වුවද මිනිසා සිය අභ්‍යන්තර පෙළඹවීම නිසා යත්න දරයි “

හොදයි මම මේ උපුටා දක්වපු කොටස අදාල පොත කියවද්දී හිතට ගොඩක් දැනුනා. ඇත්තටම මම මේ ටික ලිව්වේ පොත කියවපු වේලාවේ තව කෙනෙක්ට මේ ටික කියන්න ඕන කියන සිතුවිල්ල මට ඇතිවුනු නිසා.මේ වගේ දෙයක් කියන්න හොද තැනක් කියලා හිතුනේ මගේ මේ blog එක. බොහොම පහසුවෙන් කෙනෙක් එක්ක මේ ටික බෙදා හදා ගන්න පුළුවං මෙතනදි.

එහෙනං අදට මගේ සිතුවිල්ල මෙතනින් හමාර කරනවා. තවත් දවසක මගේ සිතුවිල්ලකින් හමුවෙමු. :) :D

 

2 comments May 27, 2008

මගේ සිතුවිල්ල

ආයුබෝවන්!

ශ්‍රි ලාංකික වුවත් මා සිංහලයෙකු නිසාත් ලංකාව තුල භාවිතා වන අනෙකුත් භාෂාවන් පිළිබඳ දැනුම අල්ප නිසාත් මේක අහම්බෙන් හරි කියවන්න ලැබෙන ඔබ සැමට (ජාති ආගම් බේදයකින් තොරව) ආයුබොහෝ වේවා! සිංහලෙන් ලියන්න ගත්තු නිසා සිංහලෙන්ම ආශිර්වාද කරන එක තමා හොද.

හිතේ තියෙන පාළුව, කාන්සිය, දුක,සතුට, යන සාමාන්‍ය මනුශ්‍ය හැඟීම් නිසා හිතට එන සිතුවිලිත් එක්ක මොනාම හරි ලියන්න ඔන කියලා හිතුන පළමූ වතාව මේක නෙමෙයි. හැමදාම හිතනවා හැමදාම පහු බහිනවා. කොහොමෙන් හරි මේ සිතුවිලි ටික ලියා දාන්න ඔන කියලා හිතත් එක්ක බොහෝ වේලා වාදයකට පැටලී සිටි මොහොතක යටි හිත මැදිහත් වෙලා තමයි මට අවසර ලබා දුන්නේ ලියන්න කියලා.

ඕන්න ඉතිං හා හා පුරා කියලා හිතට එන හොඳ හෝ නරක ඕනම දෙයක් හිතේ බර නැති වෙනකං ලියා දාන්නයි හදන්නේ. කාට හරි මගේ සිතුවිල්ල කියවන්න ලැබුනොත් හොඳ නරක පෙන්වා දෙන්න කියලා ඉල්ලා හිටින්නත් කැමති.
හොඳයි මෙච්චර වෙලා කියෙව්වට මම කව්ද කියලා කියන්න අමතක උනානේ. මේක ලියන්න පටන් ගන්න කොටම මගේ හිතට ආපු පළමු සිතුවිල්ලත් ඒකම තමයි. ඇත්තටම මම කව්ද? මොනවද කරන්නේ? මොනවද කරලා තියෙන්නේ? මම තාම මං තුලින් මාව සොයමින් පවතිනවා, හරියටම හොයා ගත්තු දවසක කියන්න බලාපොරොත්තු වෙනවා, හැබැයි හොයා ගන්න පුළුවන් වෙයිද කියන එකනම් ගැටළුවක්. නමුත් මං ගැන මුකුත්ම නොකියා ඉන්න හිතෙන්නෙත් නැ. බොහොම කෙටියෙන් මං මෙහෙම කියන්නං මම පුරා අවුරුදු 23ක් මගේ ආදරණීය අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න මේ අසම සම පොලොවේ පය ගහලා මේ මොහොත වන තුරුත් ජිවත් ‌ෙවන ඉගෙන ගනිමින් ජිවනෝපායක නිරත වෙන කෙනෙක්.

මගේ පළමු ලිපියෙන් උදව් කළ අයව සිහිපත් කරන්නය හදන්නේ. කළ ගුණ සැලකීම, කරපු උදව් අමතක නොකීරීම, ස්තුති කිරීම වගේ දේවල් ශ්‍රි ලාංකික අපි කාටත් ඉස්සර ඉදං හොදට හුරු පුරුදු දෙවල්(කාලයත් එක්ක සමහරුන්ට මේවා අමතක වෙලා). අන්තර් ජාලයේ මේ විදිහට නිදහසේ ලියන්න කියන්න පුළුවන් කියලා මුලින්ම මාව දැනුවත් කලේ (නම කීමට අකමැතියි) බොහො විට අනුන්ගේ දුක තමන්ගේ කරගන්නා (සෑම විටම නොවේ) එංගලන්තේ හෝ ඇමෙරිකාවේ වේලාවට ලංකාවේ වැඩකටයුතු කරන මා අනුවර්ත නාමයකින් ආදරේට සුදු අප්පෝ යැයි අමතන ඔහුය. මට ලියන්න අවකාශ සලසා මේ බ්ලොග් පිටුව නිර්මාණය කර දුන් සුදු අප්පෝට මං මේ මොහොතේ මගේ ස්තුතිය සහ ප්‍රණාමය හරිම සතුටින් පුදකරනවා.

:) :)

මටත් පුදුමයි, සාමාන්‍ය පෙළ පංතියෙදි සිංහල ගුරුතුමියගෙන් බැනුම් අහා අහා රචනාවක් ලිව්වට පස්සෙම ඔහේ හිතට ගලගෙන ආපු අදහස් ටිකක් මේ විදිහට ලියපු පළමු වතාව මේක. ලියන කියන දේවල් වලට මට තියෙන හැකියාවනම් අන්නිම බින්දුවේ තමා තියෙන්නේ. කියවන්න ආස හිතෙන විදිහට ලියන එකම මට ගැටළුවක් වෙලාවකට. කොහොම වෙතත් මේ ලියලා තියෙන දේවල් ආමාරුවෙන් හරි කියවන ඔබටනං පිං.

හොදයි අදට මං මගේ මුල්ම ලිපිය (හැදින්වීම කිව්වොත් නිවැරදි මං හිතන්නේ) මෙතනින් හමාර කරන්නයි හදන්නේ. ආයෙත් දවසක සිතුවිල්ලකින් හමුවෙමු.

5 comments May 23, 2008


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats