වතුර වගේ මෘදු දෙයක්

June 12, 2008

ඔන්න ඉතිං මගේ සිතුවිලි පිටුවේ මගේ අළුත් සිතුවිල්ල සටහන් කරන්නයි හදන්නේ. ඒත් පහුගිය සතියට සිදුවෙච්ච අවාසනාවන්ත සුදුවීම් එක්ක හිත එක තැනක තියාගෙන සැනසීමක් ගෙන දෙන සිතුවිල්ලක් ලියන්න පුළුවංද කියලා හිත ඇතුලෙන් මහ කලබෑගැනියක් කරනවා මේ සිතුවිලි. ඒත් නොලිව්වොත් කරං ආපු දේ අතරමග නවතිනව වගේ නේ. ඒක මේ සිතුවිලි වලට තේරෙන්නෑ.

මුලින් පල කරපු ලිපි කියවපු ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම ගියවර මම සටහන් කල ලිපියට ප්‍රතිචාර  තැබු ඔබටත් බෝහොම ස්තුතියි. ඔබේ ඒ ප්‍රතිචාර ඉදිරියට යමක් ලියන්න බෙ‌හෙවින් ඉවහල් වෙනවා.  එක් ප්‍රතිචාරයක  සටහන් වෙලා තිබුනා අකුරු ටිකක් ලොකු කරන්න කියලා. ඕක මටත් තියෙන ලොකුම ප්‍රශ්ණයක්. ඒත් කරන්නේ කොහොමද කියලා තාම මට හිතා ගන්න බැරි වුනා. මේක කියවන කවුරු හරි දන්නවනං කොහොමද කරන්නේ කියලා, කියන්න ඔබට බොහෝ පිං.  නැත්තං මං නොදන්න Technical වැඩ කරන්න ගිහිල්ලා තියෙන ටිකත් නැති කරගන්න තමා වෙන්නේ. :)

මේ දවස්වල බස්වල යන එන මිනිස්සුන්ගේ බයෙන් භිරන්ත වෙච්ච මූණවල් දැක්කම සිතුවිලි ඔක්කොම කීරිගැහිලා යනවා. පහුගිය සතියට වෙච්ච සිදුවීම් මතක් වෙනකොට එවැනි අපරාධ කරන, ඒවා කරවන, ඒවට අනුබල දෙන හා මෙව්වට වගකිව යුතු පිරිස් වලට දෙස් දෙවොල් තියලා සාප කරන්නමයි හිතෙන්නේ. හැම දේම වෙන්නේ හොදටයි කියලා අපි නිතර කිව්වට රටක්, සමාජයක් විදියට ඉන්දැද්දී මේ වෙන දේවල් වලට එහෙම කියන්නේ කොහොමද? මේව්වට ඉතිං මේ රට කරන හා කරවපු උන්දැලත් කොයි පැත්තකින් හරි වගකියන්න ඕන. හැබැයි ඒකට තමන් වගකිව යුතුයි කියලා දන්නවද දනන්නැ. 

මේ කඩිමුඩි අස්සේ අපේ ඉදිරි පරම්පරාවේ ඇතුළු ආපස්සට පරම්පරා ගණනාවකම අපේ දෙවැනි අම්මයි තාත්තයි වගේ ඉදලා අපේ ඇස් පාදන්න අපට අකුරු කරපු ගුරු මව්වරු සහ පියවරුත් දැන් අරගල කරනවනේ. රටේ එකාලගේ ඇස් පාදන්න ඉන්න මේ උදවියත් යුද්ධ කරන කොට ඉගෙන ගන්න පොඩි එවුන් මොනවා නොකරයි ද ?

මෙච්චර කාලේකට මම නං අහල තිබුනේ නෑ ගුරුවරු වැඩ වර්ජනය කරනවා.ඒකකත් මුලින්ම අහන්න ලැබුනේ අර උසස් පෙල ප්‍රශ්ණ පත්‍ර නිරීක්ෂණය කරන දවස් වල. මං හිතුවා එයින් පස්සේ මෙවැනි වර්ජන කරන එකක් නැ කියලා. කොයි තරම් දුරට සාධාරණද අසාධාරණද කියලා නං මං දන්නේ නැ. කොයි හැටි වෙතත් පාසලට අමතර නිවාඩු දවස් දෙකක්. හිතට නං මහ පිළිකුලක් වගේම මහ දුකක කුත් දැනෙනවා.

මේ රටේ ඉන්න බහුතරය තමං ගැන විතරයි හිතන්නේ තමන් ගැන විතරයි කතා කරන්නේ කියලා ඕවායින්ම පේනවනේ. මොකක් හරි තමන් අතින් වැරැද්දක් උනාම නං (ඔය වෛද්‍ය, හෙද, ගුරු ඇතුළු හැමෝම) මේක සේවයක් කියලා කියනවා.ඒකනේ වැඩේ කියන්නේ. තවත් කෙනෙක් ගැන අවංකවම හිතනවනං අර දවල් රෑ නොබලා, අවි වැසි නොතකා, බඩගින්නේ පිච්චි පිච්චි තමන්වත්, මේ රටත් ආරක්ෂා කරන්න හදන මිනිස්සුනගේ ආදායම වැඩි කරපල්ලා කියලා ඔය එක වෘත්තීය සමිතියකින් හරි වැඩ වර්ජනය කරනවානං අන්න ඒදාට මාත් ඔකට සහභාගි වෙනවා. ඒත් මේ ලක් ඉතිහාසයට එහෙම දෙයක් වෙලත් නැ වෙන එකකුත් නැ. කොහේ හරි ඉන්න එකෙක් මැරිලා හරි කමක් නැ අපි බේරිලා අපේ බඩ කට පරෙනවනං එච්චරයි. ඒක තමයි මේ උගත් කියලා කියන මිනිස්සු අපට පෙන්නන්න හදන්නේ. මේ මේලාවේ “බෙර හඩ” නාට්‍ය(මං හිතන්නේ මං හරි) එන ගීතයකුත් මතක් උනා මට.

කන්න දෙනවනං අපට
බොන්න දෙනවනං අපට
මොන කෙංගෙඩියද තව ඔන කියන්නේ………

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා අපි හැමෝම පිලිගන්නවා. ඒත් මේ ලැබෙන ආදර්ශත් එක්ක ඉදිරි පරම්පරාවලට ගොඩ බහින්න, ගොඩ බැහැලා ඉන්න ඉදිරි පරම්පරාවල අය මොනවැයින් මොනවා නොකරයිද කියලා මගේ මේ සිතුවිලි මගෙන් ප්‍රශ්ණ කරනවා. ඒ වගේම ඔබෙනුත් ප්‍රශ්ණ කරනවා. මට උගන්වපු අපේ ගුරුවරුන්ට අදටත් මං දෝත් මුදුන් දීලා වදිනවා. ඒ තරං ගෞරවයක් තාමත් මං එතුමියන්ට දක්වනවා. ඒ පුරුදු ඉදිරි පරාම්පරා වලටත් ඒ විදිහට පවතීවා කියලා තමා මගේ ප්‍රාර්ථනය.

දැනුම බෙදන ඇස් පාදන ගුරු මවක් පියෙක් හැටියට ළමයි වෙච්ච අපිට කොයිතරං නං දේවල් කියලා දීලා ඇද්ද? ඒ ලැබිච්ච අවවාද අනුශාසනා එක්ක අපට වැරදුනු , වරදින්න තිබ්බ තැං කොච්චරක් නං හදාගෙන තියෙනව ද? කොච්චරනං අළුත් දේ ඉගෙන ගෙන තියෙනව ද ?

ඒත් මේ දැං වෙන දේවල් එක්ක…… අනේ මංදා….

පරණ පත්තර ගොඩක් අවුස්සන කොට එක පත්තරේක(ලංකාදීප) පුංචි තිරුවක සටහන් වෙලා තිබ්බ චීන පඩි වදනක් හම්බ උනා. ඒකේ සටහන් වෙලා තිබුනා කෙනෙක්ගේ ජීවිතේට වටිනා කියන පණිවිඩ 3ක් අවවාද හැටියට. අවවාදේ දීලා තිබුනේ ගුරුවරයෙක් විසින් තමන්ගෙන් ඉගෙන ගත්තු සිසුවෙක්ට. ඒක කියවපු වේලාවේ මට හිතුනා දැං අපේ මේ ගුරු අම්මලා තාත්තලා මොකක්ද මේ දෙන අවවාදේ කියලා. කොහොම වෙතත් මං ඒ ලිපිය තිබ්බ විදිහටම මේකේ පල කරන්නම්. මෙච්චර වෙලා කියපු දේවල් වලට ගැලපුනත් නැතත්, ආදාල උනත් නැතත් ඒ වදනින් අදට වගේම හෙටටත් ගත යුතු දේ බොහොයි.

 
තම ගුරුතුමාව සිටි චන් සුන් මරණාසන්නව සිටින බව ආරංචි වීමෙන් කැළඹීමට පත් ලාඕ ට්සු වහාම ගුරුතුමා බැලීමට ගියේය. චන් සුන් තමාගේ ජිවිතයේ අවසන් මොහොතට ළගා වී ඇති බව පැහැදිලිව දකින්නට තිබුණි.

“ගුරුතුමණි, අවසන් වශයෙන් මට දිය හැකි උතුම් ඔවදනක් ඇද්දැයි දැන ගනු කැමැත්තෙමි” , යැයි ලාඕ ට්සු ගෞරවයෙන් විමසා සිටියේය.

“ඔබ මගෙන් විමසුවේ නැති උනත් මම ඔබට කියන්නටයි හිතා හිටියේ” , චන් සුන් පිළිතුරු දුන්නා.

“කුමක් ද ඒ ගුරුතුමණි? “

“ඔබ ඔබේ උපන් ගම හරහා යන විට ඔබේ කරත්තයෙන් බැස ගමන් කළ යුතුයි” .

” හොදමයි ගුරුතුමණි, ඒ කියන්නේ කිසිවෙක් තමන්ගේ මුල අමතක නොකළ යුතුයි කියා නොවේ ද? “

“ඔබ හොදට උස ගසක් දුටු විට ඒ අසලට ගොස් එහි මුදුන දෙස හිස ඔසවා බැලිය යුතුයි” .

“හොදමයි ගුරුතුමණි. ඒ කියන්නේ මා වැඩිහිටියන් හට ගරු කළ යුතුයි කියා නොවේ ද?”

“හොදයි, දැන් ඔබට මගේ දිව ‌ෙප‌ෙනනවා දැයි හොදින් බලන්න” , කියමින් බලවත් උත්සාහයෙන් චන් සුන් ඔහුගේ නිකට පහළට හෙළා ගත්තා.

“එහෙමයි ගුරුතුමණි”.

” ඔබට මගේ දත් පෙනෙනවාද ? “

” නැහැ ගුරුතුමණි, දත් එකක්වත් ඉතිරි වෙලා නැහැ.”

” ඒ ඇයි කියා ඔබ දන්නවාද? ” චන් සුන් ඇසුවා.

” මම හිතන්නේ”. ලාඕ ට්සු මදක් වෙලා කල්පන‌ා කරමින් සිට කතා කළා .” මම හිතන්නේ දිව ඉතිරිව තියෙන්නේ එය මෘදු නිසයි. දත් වැටුනේ ඒවා තද නිසයි. එහෙම වෙන්න ඇති නේද ? ගුරුතුමණි”

“ඔව් මගේ පුතා” , චන් සුන් හිස වැනුවාය. ” ඔය තමයි මේ ලෝකය ගැනදැන උගත යුතු දේ. මට වෙන ඔබට කියා දෙන්නට දෙයක් ඉතිරි වෙලා නැ.”

පසු කලක දී ලාඕ ට්සු මෙහෙම ප්‍රකාශ කළා. ” වතුර වාගේ මෘදු දෙයක් මේ ලොකේ වෙන නැහැ. ඒත් රළුකම අභිබවන්න, ජය ගන්න ඒ වාගේ හැකියාවක් ඇති තවත් දෙයක්  නැහැ. මෘදු බව තද බව යටපත් කරනවා. කරුණාවන්ත බව බලවත් බව පරදවනවා. හැමෝම මේ සත්‍යය දන්නවා උනත් එය ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් වෙන්නේ බොහොම ටික දෙනාටයි.” (ලාඕ ට්සු කිස්තු පූර්ව හය වන සිය වසේ චීනයේ ජීවත් වූ දාර්ශනිකයෙකි. කොන්ෆියුසියස් දාර්ශනිකයාගේ සමකාලිකයෙකැයි ද සැලකෙන ලාඕ ට්සු ‘ටාඕ ධර්මය’ ලොවට හදුන්වා දුන් දාර්ශනිකයා ලෙස සැලකේ. (පරිවර්තනය – උපාලි උබයසේකර) )

හොදයි මේ පඩි වදනේ සටහන් වූ ආකාරයට වතුර වගේ මෘදුව ඉදලා රළු දේ බලවත්දේ පරදවලා කරුණාව දයාව මේ ලොකේ රජයන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගුරු වෘත්තිය (ඇත්තෙන්ම එය සේවාවක් ලෙස සැලකන්න තමා මං කැමති) වැනි උතුම් දේකට අගෞරවයක් ඉදිරියේදී වත් නොවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. එය වෘත්තියක්ම ලෙස පමණක් නොසිතා උතුම් සේවාවක් ද ලෙස සිතන්නට තරම් ඔවුන්ගේ සිත් පහන් වේවා.

අදට මගේ සිතුවිල්ලට සමුගැනීමේ තිත තබන්නයි හදන්නේ. අළුත් සිතුවිල්ලකින් හමු වෙමු. :)

 

 

Entry Filed under: 1. .

2 Comments Add your own

  • 1. kasun  |  June 12, 2008 at 12:42 pm

    වැඩ වර්ජනය කියන්නේ වැඩ කරන ජනතාව සතු උත්තරීතර අයිතියක්. එහෙත් වර්තමානයේදී එය ක්‍රියාත්මක වන අයුරු නම් ඛේදනීයයි. මට මතකයි වරක් කාලෝ ෆොන්සේකා මහතා මව්බිම පුවත්පතට ලිපියක් ලියලා තිබුනා වැඩ වර්ජන ගැන- විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන ගැන. ලිපියේ නම වුනේ ‘අතිදුර්ජන වැඩ වර්ජන හා මනරංජන වැඩ වර්ජන’ කියලා (මට මතක හැටියට). එය වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන ගැන ලියූ විවේචනයක්

    තමන්ගේ පඩි වැඩි කර ගන්න වර්ජනය කරන ගුරු වෘත්තීය සමීතී වලට ළමයින්ට ඉගෙනගන්නට පොත් නැතිවීමත්, ගුරු අත්පොත් ගැටළුව ගැනවත් වගේ වගක් නැහැ. ඒ වෙනුවෙන් වර්ජනයක් තියා පොඩි පිකටින් එකක් නැතිනම් මාධ්‍ය සාකච්ඡාවක් වත් මම නම් දැක්කේ නැහැ. මේක තමයි වර්තමානයේ ලංකාවේ තත්වය. ආත්මාර්ථකාමී උවමනා එපාකම් හැරෙන්නට සැබෑ ගැටළු සම්බන්ධයෙන් කිසිම සවිඥානික බවක් නැහැ. නැතිනම් උවමනාවක් නැහැ

    Reply
  • 2. නිදහස් අදහස්  |  June 13, 2008 at 10:06 am

    ලියල තියෙන දේවල් ඇත්ත. කතාව නැවත මතක් කරල දුන්නට තුති. අකුරු ටිකක් තද පාට වැඩියි. ඒක ගැන පොඩ්ඩක් බලන්න

    Reply

Leave a Comment

Required

Required, hidden

Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats