නුපුරුදු සොදුරු සිතුවිලි
October 30, 2008
අහස තරු වලින් පිරිලා. ඒත් මට පෙන්නේ දිලි දිල පත්තුවෙන පුංචි තරු කැට දෙක තුනකුයි ග්‍රහලෝකයක් යැයි මං අනුමාන කරන නිරන්තරයෙන් ආලෝකය විහිදුවන ආකාශ වස්තුවකුයි විතරයි.
මං ආස ගායකයෙකුගේ ලස්සන ගීතයකුත් ඇහෙනවා ඇහෙනවා වගේ. “තනි තරුවේ ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා………….” මුලින් කිව්වා වගේ මුළු පලාතම නිහඩයි. හිත ඇතුලෙන් තමයි වාදනය වෙන්නේ .
බොහෝ දෙනෙක් මේ වෙලාවේ අවදියෙන් ඇති. ඒත් මට දැනෙන්නේ මං විතරක් ඇහැරගෙන අර තරු දිහා බලන් ඉන්නවා වගේ. මේ වගේ රත්‍රින් වල ඇහැරගෙන අහස දිහා බලන් ඉන්න කොට මතක් වෙන පොතක් තියෙනවා මට. ඒ තමයි චින්තා ලක්‍ෂමි සිංහාරච්චි පරිවර්තනය කරපු “අරණකට පෙම්බැද” කියන පොත. ඒකේ තැන් කිහිපයකම හරි ලස්සනට රාත්‍රීන් විස්තර කරලා තියෙනවා. සිතුවිලි වලින් ඒ තරං කැලෙක ඇවිදපු පොතක් මට තාම ලැබුනේ නැ.
හිත ඇතුලේ මොකක්දෝ සිතුවිල්ලක් එලියට එන්න දගලනවා. ඒත් හරියට පැහැදිලි නැ. මොකක්ද මේ සිතුවිල්ල……. අනේ මංදා හිතා ගන්න බැ. ඒ හින්දමද කොහෙද මෙන්න මේ වගේ සිතුවිලි ටිකක් නං කොලේක ලියවුනා.
ඈත අහසේ කළුවරේ දිලිසෙන
දෑස් මානයෙන් ඔබ්බට දිවෙන
සිතේ ගැඹුරෙන්ම මතු වෙමින්
පිටතට පනින්නට වෙර දරන
මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ල
තණ අගින් ගිලිහෙන්නට
ගුරුත්වයට අයදිමින් සිටින
උදාසන පිනි බිංදුවක් වන්
මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ල
හිරුට මුවා වන්ට නොහැකිව
පෙති විහිදුවන්ට වෙර දරන
පුංචි මල් පොහොට්ටුවක් වන්
මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ල
දිය කඩිත්ත පැන යන්ට
බාහුවක පිහිට යදින
පුංචි දඟකාරියක් වන්
මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ල
කෙතරම් වෙර දරා තල්ලු කෙරුවද
අඩියක් වත් ඉදිරියට නොයන
විසල් ගල් කුලක් වන්
මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ල
කියාගන්න බැරිව ලැතැවි ලතැවි හිතේම තියං විදෝන සිතුවිලි ඕනෑ තරම් අපට තියෙනවා. ඒත් කාලයක් ගිහිං ඒ සිතුවිලි එලියට නොආපු එකට සතුටු වෙන වෙලාවලුත් දුක් වෙන වෙලාවලුත් අනන්තයි.
කොහොම උනත් පුංචි හරි සටහනක් තියන්න මගේ හිත මෙහෙයවපු මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ලට ප්‍රණාමය.
Entry Filed under: මගේ ලිපි ගොනුව. Tags: සිතුවිලි.
3 Comments Add your own
Leave a Comment
Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
Trackback this post | Subscribe to the comments via RSS Feed
1.
නිදහස් අදහස් | October 30, 2008 at 11:52 am
ආ කාලෙකට පස්සෙ ලියල. දිගටම ලියනවනං තමයි හොද . ඒක නෙවෙ තව හොද පොත් ටිකක් ගත්තා. හෙමිහිට විස්තර කියන්නං
2.
බෝ | November 5, 2008 at 11:06 am
වචන වලට පෙරලාගත නොහී සිත තුලම මියැදෙන සිතුවිලි බොහෝ වෙත්. මේ අදහස් නැවුම්
3.
සිතුවිලි | November 7, 2008 at 10:23 am
@නිදහස් අදහස් : ස්තුතියි. ලියන්න අදහස් එන්නත් එපැයි. ආවොත් අනිවාරයෙන්ම ලියනවා.
@බෝ: ස්තුතියි බෝ. දිරිමත් කලාට