Archive for January, 2009
05th Lane එක සහ අතරමගදි හමුවු මිනිසා
හුගක් දවසකින් තමයි මං මගේ බ්ලොග් අඩවියට ආවේ. සමහරක් විට මාසයකින් විතර වෙන්න ඇති. ලියන්න තරං විශේෂ උමනාවක් නොතිබීමත් ලියන්න අදහස් ආවත් මහා මොකක් දෝ ශුන්‍ය කමක් වගේම වස කම්මැලිකමකුත් මුළු හිතම වෙලාගෙන තිබුනා. මුලින්ම ලැබුවාවු නව වසර සැමට සාමය සපිරි සුභ නව වසරක් වේවා. මේකනං හොදටම පරක්කු වෙච්ච ප්‍රාර්ථනාවක් වගේ නේද? අද හරි අමාරුවෙන් ඒ කම්මැලිකම මැඩගෙන මගේ ගමන් මග අතරමගදී හමුවෙච්ච එක්තරා මිනිසකු ගැන මට හිතිච්ච දේවල් ටිකක් සටහනට එකතු කරන්න ඕන කියලා හිතුවා. මං දැං කතාකරන මිනිසාට මගේ ජිවිතයේ විශේෂ ස්ථානයක් හිමිත් නැ අහිමිත් නැ. ඒ ගැන කියන්න මේ වෙලාවේ මට දැනෙන්නේ නැ. බොහෝ විට ඔහු මට මගේ ජිවිතයේ හමුවෙච්ච තවත් එක් මනුස්සයෙක් විතරයි.
ඒත් මං මේ කතා කරන මිනිසා සමග එක වචනයක් වත් කතාකරලා නෑ.ඔහු හා මා අවුරුදු 3ක් හෝ 4ක් පුරාවට හැම උදෑසනකම මුහුණට මුහුණ මුණ ගැහෙනවා. හැම උදෑසනක් කිව්වාම හැම සතියේ දිනකම.
138 බස්එකේ ඇවිල්ලා Royalඑක ලගින් බැහැලා 05th Lane එකේ ඇවිදං එද්දි Duplication Road එකට වැටෙන තැන සිට නැවත High Level Road එකට වැටෙන තැන දක්වා වු සීමාව තුල කොතැනදි හරි මට ඔහුව හැම සතියේ දිනකම උදැසනට මුහුණට මුහුණ මුණ ගැසෙනවා. බොහෝවිට සිනාවකින් සංග්‍රහ කරනවා ඇර වෙන කිසිදු සංවාදයක් අප අතර සිදු වෙලා නෑ. මට ඔහුගෙන් කොහොමද සීයේ කොහොමද අන්කල් කියලා අහන්න ඕනකම තිබුනට මං ඒක ඇහුවේ නැ. මං දවසේ එක්තරා වැඩකොටසක් ආරම්භ කිරීමට අදාල ස්ථානයට යන අතරේ ඔහු ඔහුට අදාල කටයුතු පටන් අරගෙන භාගයක්ම කරලත් ඉවරයි.සමහරක් විට අප දෙදෙනා අතර සංවාදයකට මුල පිරීමට හේතුවක් නොවෙන්න ඇත්තේ සමාජය විසින් ඔළුවට පටවා ඇති පුහු මත වෙන්නත් පුළුවං. කුණු අදින පාර අතුගාන මනුස්සයත් එක්ක සුහද කමක් ඕන නැ. ඒ මනුස්සයට එයාගේ වැඩේ කරගෙන යන්න දෙන්න. යටි හිත හෝ උඩු හිත කිව්වා. ඒ අදහසට මං සාප කලා. ඒත්වැඩක් උනේ නැ. ඒ මතය බිදදාන්න තරං ශක්තියක් මං ලග නොතිබුනේ ඇයි කියලා මං මගෙන්ම ප්‍රශ්ණ කරපු වෙලාවල් අනන්තයි. සමහරක් විට කතා කලානං මං ඒ මනුස්සයාව දැකපු විදිහ මිට වඩා වෙනස් වෙන්නත් තිබුණා. ඒ වෙනසට වඩා මගේ සිතුවිලි විසින් ඔහුව බාහිරින් දැකලා ඔහු පිලිබද මවා ගත්තු චිත්‍රය හොදයි කියලත් හිතුණා. මේ ඔක්කෝමත් හරි තව පොඩි ප්‍රශ්නයක් තිබුනා. කොච්චර පණ්ඩිත කං දෙඩෙව්වත් මං හරි ලැජ්ජයි කතා කරන්න. මං කතාවට දක්‍ෂ කෙනෙකුත් නෙමෙයි. ඉතිං ඒ කොහොමෙන් හරි ඔහු හා මා අතර කිසිම සංවාදයක් නැතුව හැමදාම උදේට මුණ ගැහුණා. සංවාදයට සිනහව විතරක් එකතු උනා.
ඔහුගේ වයස අවු.60 හෝ 65කට කිට්ටු කරලා ඇති. ඇස්වල අමුතු දීප්තියක් තිබුණා. ඒක අළුත් බලාපොරොත්තුවක් සේයාවක්ද නැත්තං දුකෙන් වේදනාවෙන් පෙලෙන දෑස් වලට උනපු කදුළු හිංදා ඇතිවු දීප්තියක්ද කියන්න මට හරියට බෑ. ඔහු විනෝදාංශයකට වගේ කුරුළු පිහාටු එකතු කලා . ඔහුගේ කුණු කරත්තය කොනක බැද දමා තිබුනු කුරුලු පිහාටු කිහිපයක් බෝහෝවිට දකින්න ලැබුනා. එතන වැඩිපුර තිබුනේ කපුටන්ගේ පිහාටු. කාක්කෝ වගේ මිනිස්සු ඉන්න මේ කොළඹ රටේ කුරුල්ලෙක් කියලා වැඩිපුර දකින්න ඉන්නේ කපුටන් විතරයි කියලා ඒ දිහා බලන ඕන කෙනෙක්ට පෙනේවී. ඔහුගේ ඒ කුරුලු පිහාටු පොදිය ඒ කුණු කරත්තයට අමුත්තක් ගෙන ආවා. ඇත්තතටම ඔහු ඒ අකාරයට කුරුලු පිහාටු වලින් පොදියක් හදා කුණු කරත්තේ කොනක ගැහුවේ ඇයි?කරත්තේ ලස්සන කරන්නද? නැත්තං ඔහුගේ විනෝදයටද? නැත්තං තමන්ගේ මිණිපිරියකට හෝ මුණුපුරෙකුටද? මගේ ප්‍රශ්ණ වලට උත්තර නෑ.
ඔහු මුළු 05th Lane එකම ඔහුට හැකි උපරිමයෙන් පිරිසිදු කලා. ඇතැම් විට ගෙවල් ඉස්සරහා වැවිලා තිබුණු තණකොල පවා ගලවන වෙලාවල් මං දැකලා තියෙනවා. කරත්තේ කොටස් වලට බෙදා තිබුනු වෙලාවලුත් දං දැකලා තියෙනවා. දිරන කුණු එක පැත්තකට නොදිරන කුණු එක පැත්තකට ආදි විදිහට. ඒත් 05th Lane එකේ කවදාවත් හිස් නොවන ලොකු කුණු ගොඩකුත් නැතුවා නොවෙයි. පුදුමෙකට වගේ අදනං මං එද්දි ඒ කුණු ගොඩ හිස්.ඒ කුණු ගොඩ අස් කරන්නේ ලොකු කුණූ ලොරියෙන්.
ඒ සීයාට/ අන්කල්ට හරි අහිංසක හිනාවක් තිබුනේ. ඒකේ මොකක්දෝ දුකක් වගේම සතුටකුත් තිබුනා කියලා මට දැනුනා. පාර අතුගාන කෙනෙක්ව දැක්කම මට ඒ 05th Lane එකේ පාර අතුගාන සීයාව මතක් උනා. මා එක්ක කතා නොකලට අනිත් අය එක්ක කතා කරනවා මට ඇහිලා තියෙනවා. ඔහු සුහදව කතා කරන බවකුත් මට තේරුනා.
ඔහුගේ මේ හැම දෙයක්ම මට නිරීක්‍ෂණය කරන්න අවස්ථාව ලැබෙන්නේ බොහොම පොඩි වෙලාවයි. ඔහුව ඇස් දෙකට ඈතදීම දකින මොහොතත් ඔහුව පසු කරන මොහොතත් අතර කාලය විතරයි. ඒක සමහර විට විනාඩියක් හෝ විනාඩියකටත් වඩා අඩු කාලයක් .
මේ සීයා ගැන අද ලියන්න හේතුවක් තිබුනා. ඔහුව දවස් දෙක තුනකින් දැක්කේ නැ. වෙන කෙනෙක් තමයි ඒ වෙනුවට ඉන්නේ. ඔහුව පහුකරන කොට හිතට ආපු ප්‍රශ්ණය අර සීයා අදත් නෑ. මං ඔහු ගැන මොනවා හරි ලියන්න ඕන කියලා හිතට ආපු හින්දයි.
කුණු අදින පාර අතුගාන මනුස්සයා රටටකට හරි වැදගත් කෙනෙක් කියලා මගේ අක්කගේ යාළුවෙක් මං පාසල් යන දවස් වල මට කිව්වා. මට ඒක හොදට හිතට වැදුනා. හුගක් වෙලාවට මං ඒ ගැන කල්පනා කලා. බැලුවාම ඒ කතාවත් ඇත්ත. වෙලාවකට හිතෙනවා ඒ මිනිස්සු රැකියාවට උනාට ඒ ඔස්සේ රටට ලොකු සේවයකුත් කරනවා කියලා.
නිදහස් අධ්‍යාපනයෙන් දැනුම ලබා ගත්තු මේ රටට අවංකව සේවයක් නොකරන උගත්යැයි සම්මත ඇතැමි පිරිස් වලට වඩා නිදහස් අධ්‍යාපනය රෝම කූපයකටවත් නොදැනුනු මේ මිනිස්සු වැඩිදුර ඉගෙන නොගත්තත් රටට ලොකු සේවයක් කරනවා කියලා මට හිතුනා. කාටවත් දොස් පවරනවා නෙමෙයි .ඒ මට හිතුන වදිහ.
හැමදාම උදේට පාර අතුගාලා පාරේ කුණු අයින් කරනවා වගේ හැම මොහොතකම තමන්ගේ හිතේ පල්වෙන කුණුත් ඒ විදිහට අයින් කරනවද කියන්න මං දන්නේ නැ. එහෙම පිරිසුදු සිත් ඇත්තවුන් වැඩිපුර බිහිවේවා කියලා මං බොහෝ විට ප්‍රාර්ථනා කරනවා. තේ කහට වල විතරක් කහට වැඩිපුර තියෙන හිතේ කහට අඩුවී යන සිත් පහල වේවා.
5 comments January 23, 2009