Archive for March, 2009
එක මග යන මගීන්…
මදුර වු ගීතය පසෙකලා
කර්කශ හඩට ආයාසයෙන් සවන්දෙන
ජීවන බරින් ඔටුනු පලඳා
පිටතින් සුදු හුනු වන්
සූට් බූට් පැලදී
Hair Jel සුවද විලවුන් සුවදින්
පලාතම සුවද කරමින්
පීඩිත සිතේ ඇති කව
ලොවට නොපෙනෙන්නට
සැමටම තම දසන් පෙන්වන
ඔබ හා මා….
දිනෙන් දින ගරා වැටෙන
ශරීර කූඩුව
අසුනක් මත සතපවමින්
එකම මගක ගමන් යන
මගියන් පමණක් වී
සහෘදයන් හෝ මිතුරන්
නොවුයේ ඇයි?
4 comments March 24, 2009
ජීවිත යාත්‍රාව සහ මහ පොළොව උඩ නිදාගැනීම
අද මේ ලියන්න හදන්නේ තවත් මනුස්සෙක් ගැන. කාගේ හරි පිටට පේන හැසිරීම් දිහා බලන්න මං හරි අසයි. එක එක අයගේ විවිධ හැසීරීම් . හැබැයි ඒ කෙනා අපහසු තාවයට පත්වෙන විදිහට නෙමෙයි මං බලන්නේ. හැබැයි ඒ කෙනාගේ හැසීරීම මගේ ඇස් දෙකට නීරීක්‍ෂණය වෙනවා කියලා අනෙක් අය දන්නේ නැ. ඒක මට ෂුවර්.
ලඟ ලඟ දවස් දෙකකදී හිතට ටිකක් දුක හිතෙන සිදුවීමක් දැක්කා. ඒ තමයි තරමක් මැදි වියේ අම්මාකෙනෙක් කිලුටු පහේ ඇඳුම් පොට්ටනියකුත් තුරුළුකරගෙන පාරේ පාටටම හරියන ඇදුමකුත් ඇදගෙන පාර අයිනේ බස් නැවතුමක් ලග නිදි. ඒ වෙලාවෙනං සැහෙන්න දුක හිතුනා. ඒ එක්කම මට හිතුනා මේ මනුස්සයා මට වඩා නිදහසේ ඉන්නවා නේද කියලා.
හැබැයි ඉතිං ඔය නිදහස කෙන කෙනාට වෙනස්. ඒ මනුස්සයාව පිටින් බලලා මට නිදහස් කෙනෙක් වගේ පෙනුනට ඒ අම්මා ඇත්තටම නිදහසේ නොවෙන්න පුළුවං ඉන්නේ.අපි හැමෝම බලාපොරොත්තු එක්ක ජීවත් වෙනවා. ඒ අම්මගේ හීනයි/බලාපොරොත්තුයි මගේ හීනයි/බලාපොරොත්තුයි අතරේ වෙනසක් තියෙනවා. ඇතැම් විට ඒ අම්මගේ බලාපොරොත්තුව මගේ බලාපොරොත්තුවේ මුල් අවස්ථාව. ඉපදිච්ච ඔන සතෙකුට තියෙන මූලික පැතුම බඩ පුරවා ගැනීම සහ නිදා ගැනීම. මං තුන්වේලට බත් කනවා, කාලා නිදාගන්නේ ඇදක. නමුත් අර නිදහසේ පොලොව මත නිදා හුන් ඇයට තියෙන බලාපොරොත්තුව තුන් වේලට නැතත් එක වේලකට හරි බත් හෝ මොනා හරි ආහාරයක් ගැනීම. ඇයට නිදා ගන්න වහලක් අවශ්‍ය නැ මේ වෙලාවේ. ඒක ඇය ක්‍රියාවෙන් ඔප්පු කරනවා. ඇය මම සහ ඔබ අහාර ලබා ගැනීමේ මුලික බලාපොරොත්තුවෙන් දවස ගෙවනවා. ඒක අනිවාර්යෙන් ලැබෙන හින්දා ඔබේ සහ මගේ මුලික බලාපොරොත්තුවක් විදිහට ඉස්මතුවෙලා පෙන්නේ නැ.අපේ මුලික බලාපොරොත්තුව නොහොත් අවශ්‍යතාව (කෑම) අනෙක් බලාපොරොත්තුවලින් වහගෙන . ඒක හින්දා බලාපොරොත්තුවක් විදිහට දැනෙන්නේ නැ. නමුත් අර අම්මට තියෙන බලාපොරොත්තුවම මටත් තියෙනවා. ඒක ඇගේ බලාපොරොත්තුවේ මුල මැද අග කියන හැම තැනම තියෙනවා. පිටින් බලන අපිට ඇගේ බලාපොරොත්තුව පුංචි එහෙම නැත්තං සුළු බලාපොරොත්තුවක් වෙන්න පුළුවං උනාට ඇයට ඒක ඇගේ එකම සහ මුලිකම බලාපොරොත්තුව.
ඇගේ ජිවන යාත්‍රාව මගේ එකට වඩා සැහැල්ලුයි. ඒක නිසා ඔහේ පාවෙලා යනවා. හබලක් අරගෙන හබල් ගන්න ඔන නැ. හුලං ආධාරයෙන් පාවෙනවා. මගේ ජීවන යාත්‍රාව මගේ වටේ ඉන්න අය එක්ක සසඳලා බැලුවොත් අර අම්මගේ යාත්‍රාව තරම්ම සැහැල්ලු නොවුනත් මගේ යාළුවන්ගේ යාන්ත්‍රාවන්ට වඩා සැහැල්ලුයි. ඔහේ පාවී යන්නේත් නැ හැබැයි වෙර දාලා හබල් ගන්න ඔනත් නැ. සැහැල්ලුවෙන් පොඩි හබල් පාරවල් දෙක තුනක් ගැහැවුවාම ඉස්සරහට යනවා.
මේ ජීවන යාත්‍රාව ගැන කිව්වාම ඒ ගැන හොද සරල සඳහනක් තිබුනා මං ලගදි කියවපු පොතක. පොත් නං මං හරි අඩුවෙන් කියවලා තියෙන්නේ. මේ මං දැං කියන පොත ලැබුනේ පොත් හුඟක් කියවලා තියෙන දැනටත් පොත් කියවන ඒ වගේම හොඳට ලියන්න කියන්න පුළුවං හැකියාවක් තියෙන නමුත් ලියන්න මහ කම්මැලි කමක් තියෙන යාළුවෙක් ගෙන්. පොත තමයි Jerome K. Jerome ගේ “Three Men in a Boat” කියන පොතේ ජනක මහබෙල්ලන පරිවර්තනය කරපු “තේම්ස් නදියේ සවාරියක්” කියන පොත. එක්තරා තැනක මෙන්න මෙහෙම සඳහන් වෙනවා.
“ ඔබේ ජීවිත යාත්‍රාව සැහැල්ලු කර ගන්න. අවශ්‍යදේ පමණක් එහි බහාලන්න. පුංචි නිවසකුත්, සරල විනෝදයත්, මිතුරන් දෙන්නෙකුත්, ආලය කල හැකි එක්කෙනෙකුත්, ඔබට පෙම් කරන අයෙකුත්, බල්ලෙක් බළලෙකුත්, දුම් පයිපයකුත්, ඕන තරම් කෑමත්, ඇඳුනුත් , බීමට යමකුත් සැහෙනවා. එතකොට ඔරුව පදින එක පහසුවෙනවා. පෙරලෙන්නෙත් නැ, පෙරලුනත් ගානකුත් නැ. කල් පවතින බඩු වතුරට නරක් වෙන්නෙ නැ. එතකොට ඔබට හිරු රැස් බීමට පුළුවන් වෙනවා. සංගීතය රස විදින්න හැකිවෙනවා. “
මෙන්න මේ ඉහතින් සඳහන් කල වචන ටික මං පුදුම විදිහට වින්දා. ඇත්තටම පුරවගෙන තියෙන සමහරක් පොඩි පොඩි දේවල් ටිකක් ගඟට විසි කලොත් මගේ ජිවිත යාත්‍රාවෙත් බර තව ටිකක් නොදැනුවත්වම හරි අඩුවෙනවා නේද කියලා දැනෙන්න පටන් ගත්තේ ඒ වෙලාවේ. ඉහතින් සඳහන් කල ඔරුවේ තියෙන දෙයක් මගේ ඔරුවේ නැ. බල්ලේක් හෝ බළලෙක්, දුම් පයිපයක් හා තව එකක් දෙකක්. මං බල්ලන්ට පණ බයයි. ඒ නිසා මගේ ජිවිතේ බල්ලෝත් නැ බළල්ලුත් නැ. හැබැයි තිබිලා හෝ ලැබිලා නැතිවෙච්ච දේ ගැන වැඩිය නොහිතා තියෙන දෙයින් සතුට විදින්න දැං මට පුළුවං.
අපි සැප සම්පත් දුක් කරදර ආදි නොයෙක් දේ විදින්නේ විවිධාකාර විදිහට. ඒක කෙන කෙනාට වෙනස්. මිල මුදල් ලැබෙන්න ලැබෙන්න බලාපොරොත්තු අවශ්‍යතාවන් එන්න එන්න වැඩි වෙනවා. ලෝකය ගෝලාකාරයි නමුත් මිනිසුන් විවිධාකාරයි කියලා කියන්නේ ඔය හින්දා වෙන්න ඇති. අනේ මංදා ඔක ඔහොම නෙමෙයි ද දන්නේ නැ කියන්නේ. මට මතක විදිහ තමයි ඔය. කොහොම නමුත් ලෝකය ගෝලාකාර උනාට ඒකේ පැවැත්ම හරි විචිත්‍රයි. මිනිසුන් ඒකාකාර නොවී විවිධාකර උන එකේම තියෙනවා විචිත්‍රත්වයක් . නැද්ද මං අහන්නේ. ඒකනේ අර අම්මා මහපොළොවේ නිදාගෙන මං ඇදේ නිදා ගන්නේ. ගෙදරදි බිම නිදා ගත්තත් ඒ වහලයකින් වට වෙච්ච සෙමෙන්ති හෝ මැටි පොළොවක් උඩනේ. හැබැයි නිකම්ම මහ පොලොවේ එකම එක වතාවක් මාත් නිදා ගත්තා. ඒ කැම්ප් සයිට් එකකට උඩවලවේ ගිය වෙලාවේ. ගෙදරදි වගේ නෙමෙයි පොළොවෙන් එන නැවුම් සුවඳත් එක්ක කිසිම කම්මැලිකමක් නැතුව උදේ පාන්දර නැගිට්ටෑකි මහ පොළොවේ නිදා ගත්තාම. පින්න වැටිලා ඒ වැටිච්ච පින්නෙන් පොලොව තෙමිලා , තෙමිච්ච පොළොවෙන් එන නැවුම් සුවඳ විඳගෙන අවදිවෙනකොට අපිත් මේ ස්වභාවධර්මයාගේ කුළුපගයන් බව හොදට දැනෙනවා. ඒ අත්දැකීම වචනෙන් විස්තර කරන්න බැරි තරං මිහිරියි. ඇතමෙක්ට ඒක එහෙම නොවෙන්න පුළුවං. නමුත් මට දැනුනේ නං එහෙමයි.
මං අර ඉස්සෙල්ලා සඳහන් කරපු පොතෙත් තැනක මෙහෙම තිබුනා. “ එළිමහනේ නිදා ගන්නෙක්ට පාන්දරින් අවදි වෙන්න පුළුවං , පිහාටු ඇදක නිදාගන්නෙක් වගේ තව විනාඩි පහක් නිදාගන්නවා යන කම්මැලි සිතුවිල්ල පහල වෙන්නේ නැතුව.”
පරිසරයත් එක්ක ජීවත් වෙන්න පුළුවං නං අපිට හුගක් අනපේක්‍ෂිත දේවල් දැකගන්න , විදගන්න පුළුවං. මට දැනෙන විදිහට පරිසරේ අමුතු තාලයක් තියෙනවා. හුළං හැමුවත් ඒකේ අමුතු රිද්මයක් තියෙනවා. හයියෙන් හැමුවත් හෙමින් හැමුවත් ඒ ඒ වෙලාවට හුළගට ආවේනික රිද්මයකින් තමයි හමාගෙන යන්නේ. කවදා හරි දවසක මුහුද ලගට ගිහිල්ලා මුහුදේ රැළිවලින් එන හෝ හඬට කන් දීගෙන ඉදලා තියෙනවද? ඒකෙත් තියෙනවා අමුතු තාලයක්. ගල් උඩින් පෙණ දදා ගලන ගඟක් ලගට වෙලා තනියම ඉදගෙන ඒ හඬට කන් දීගෙන ඉදලා තියෙනවද? ඒ හඬත් හරි මිහිරියි. හරියට ස්වභාවධර්මයා බෙර ගහා ගහා සිංදු කියනවා වගේ. ඒ හඩ මේ දැනුත් මගේ කන් වලට ඇහෙනවා.
කෙහොම නමුත් අපි අපිටම ආවේනික අපි තුල ගොඩනගා ගත්තු ලෝකවල ජීවත් වෙනවා වගේ හැඟීමක් මට තියෙනවා. ඒක අර අම්මටත් එහෙමයි මටත් එහෙමයි ඇතැමි විට මේක කියවන ඔබටත් එහෙමයි.
5 comments March 9, 2009