අපි හෘද සාක්ෂිය මුදලට උකස් කර ඇත්තෙමු.

මා පලකල අවසාන ලිපියෙන් පසු සතියකට වඩා කාලයක් ගතවී ඇතත් ඒ අතර කාලය තුල හරියාකාර ලිපියක් හෝ සටහනක් පල කර ගත නොහැකි විය. ඊට බලපැ බලවත්ම හේතුව වුයේ මා දැඩි ලෙස අසනීප වීමයි. තවමත් එයින් මා පීඩා විදිමින් සිටි. තරමක් දුරට හෝ අසනීප තත්වය යටපත් නොවීම නිසා කිසිදු සිතුවිල්ලක් හෝ අදහසක් ඇති නොවුයෙන් කිසිවක් ලියා ගත නොහැකි විය. ඇත්ම්විට එය මා තුල ඇති වු අලස කම හා දැඩි එපා වීම ද විය හැක. අතැම් විට මෙයාකාරයෙන් ලිවීම පවා නවතා දමන්නට ද සිතුණි. සමහරක් විට කාලයත් එක්ක ලියන්න අදහස් ආවාම නොලියා ඉන්න බැරි වෙනවා.

ඔන්න ඉතිං එහෙනං අද මගේ සිතුවිල්ල මේ විදිහට පටන් ගන්නයි හදන්නේ. අවසාන සටහන් දෙකට ලැබුනු ප්‍රතිචාර වලට ස්තුතියි කියන අතර මේ විදිහට ලියන්න එම අදහස් හුගක් මහොපකාරි වෙනවා.

මාගේ අවසාන ලිපියෙනුත් ඔබට පණිවිඩයක් දෙන්න උත්සාහ කලා. එහි සාර්ථක භාවය රඳා පවතින්නේ එයින් ඔබ ලබා ගත් දේ අනුව. කෙසේ වෙතත් අද මා මෙහි සටහන් කිරිමට යන්නේ හුදෙක් මා තුලින් පැන නැගි මගේම සිතුවිලි නො වුවත් අප අසල් වැසි රටෙහි මීට වසර දෙකකට එනම් 2006 වසරෙදී විශ්‍රාම ගත් ඉන්දියානු හිටපු ජනාධිපති ආචර්ය අබ්දුල් කාලාම් හයිද්‍රාභාද්හි දී පැවැත් වූ දේශනය අඩංගු ලිපියේ සිංහල පරිවර්තනය කල ප්‍රණීතා අබේවික්‍රමයන්ගේ ලිපියෙහි ඇතැම් කොටස් කප්පාදු කොට එය හුදෙක් ශ්‍රි ලංකාවට ගැලපෙන අයුරින් සකස් කිරීමෙනි.

ප්‍රණීතා අබේවික්‍රමයන් විසින් පරිවර්තනය කොට සනස් කල ලිපිය ඔබ කියවා ඇතැයි සිතමි. එහිදි ඇය ඉන්දියාව වෙනුවට ශ්‍රි ලංකාව යොදා ආදාල ලිපිය කියවන ලෙස ලිපිය ආරාම්භයෙදීම සටහන් කොට තිබිනි. මා මෙහිදි ඉන්දියාව වෙනුවට ශ්‍රි ලංකාව භාවිතා කරමි. තවද මෙම ලිපිය මා විසින් කියවනු ලැබුයේ මීට වසර දෙකකට ඉහත දී වුවද එහි අඩංගු කරුණූ අදටත් එලෙසම ගැලපේ. මෙයට මා ශ්‍රි ලංකාව යන්න යෙදුවද මෙම සියලු අදහස් ආචාර්ය අබ්දුල් කාලාම්ගේ බව මතක තබා ගන්න. මෙම දේශනයෙදී ඔහු තම රටෙහි නිෂ්පාදනයන් හා ඇතැම් නගර ගැන සඳහන් කරයි. එම කරුනූ මා විසින් කප්පාදු කරන ලදී.

” අපේ ශක්තිය සහ ජයග්‍රහණ පිලිගැනීමට ශ්‍රි ලාංකිකයන් වන අප මෙතරම් මැලිකමක් දක්වන්නේ ඇයි? අපි ඉතා ශ්‍රේෂ්ඨ ජාතියක් වෙමු. පුදුමාකාර ජයග්‍රහණ රැසක් අප සතුය තිබුනත් ඒවා ඇති බව පිලිගැනීම අපි ප්‍රතික්ෂේප කරමු. ඒ ඇයි? ස්වාධීනව ඉදිරිමට යමින් නැගි සිටි මිනිසුන් අප රටෙහි සිටි. එවන් ජයග්‍රණ ඕනැ තරම් ඇත. එහෙත් අපේ ජනමාධ්‍ය උනන්දු වන්නේ
නරක ආරංචි, පාරාජය වීම් සහ විනාශයන් ගැන පමණි. වරක් මම (ආචාර්ය අබ්දුල් කාලාම්) ටෙල් අවීව් නගරයෙදී ඊශ්‍රායල පුවත් පතක් කියෙව්වෙමි. ඊට පෙර දින එහි ප්‍රහාර, බෝම්බ පිපිරීම් හා මරණ රැසක් සිදුවී තිබුණි. හමාස් සංවිධානය විසින් ප්‍රහාර එල්ල කර තිබුනි. එහෙත් පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපයෙහි දැක්වුනේ වසර පහකින්, කලින් කාන්තාරයක්ව තිබු තම ගෙවත්ත උයනක් හා ධාන්‍යාගාරයක් බවට හැරවු යුදෙව්වකු පිලිබදවය. එදින උදෑසන සෑම කෙනෙකුම දුටුවේ මේ ප්‍රබෝධමත් ඡයාරූපයයි. මිනී මැරුම්, බෝම්බ පිපිරීම්, මරණ ආදිය පිලිබද ලේ වැගිරෙන විස්තර තිබුණේ ඇතුළු පිටු තුළ සෙසු පුවත් අතර සඟවාය. එහෙත් අපේ රටේ දී අප
කියවන්නේ මරණ, ලෙඩ රෝග, ත්‍රස්තවාදය, අපරාධ ආදිය ගැනයි. අප මෙතරම් සෘණාත්මක ඇයි?

තවත් ප්‍රශ්නයක් ජාතියක් ලෙස අප මෙතරම් විදේශීය දේ වැළඳගන්නේ ඇයි? අපට ඕනෑ විදේශිය රූපවාහිනී, විදේශීය කමිස, විදේශීය තාක්ෂණයයි. ආනයනය කරන ඕනෑම දෙයක් කෙරෙහි ඇති මේ ඇල්ම කුමක් ද? ආත්ම ගරුත්වය පැමිණෙන්නේ ආත්ම විශ්වාසය සමඟ බව අපට වැටහෙන්නේ නැද්ද?

අපේ රජය ආකාර්යක්ෂම බව ඔබ කියයි. අපේ නීති පැරණි වැඩි බව ඔබ කියයි. නගර සභාවෙන් කුණු එකතු කරගෙන යන්නේ නැති බව ඔබ කියයි. දුරකථන ක්‍රියා විරහිත වී ඇති බව, දුම්රිය සේවය විහිළුවක් බව ඔබ කියයි. අපේ ගුවන් සේවය ලෝකයේ නරකම ගුවන් ‌සේවය බවත්, ලියුමක් කිසිදාක එය යා යුතු ස්ථානයට ළඟා නොවන බවත් ඔබ කියයි. අපේ රට බල්ලාට ගොස් ඇති බවත්, වළට වැටී ඇති බවත් ඔබ කියයි.

ඔබ දිගින් දිගටම කියයි, කියයි, කියයි. ඒ ගැන ඔබ කරන්නේ කුමක් ද? පුද්ගලයෙකු සිංගප්පූරුවට ගෙන යන්න. ඔහුට ඔබේ නම දෙන්න. ඔබේ මුහුණ දෙන්න. ගුවන් තොටුපොළෙන් පිටතට යන විට ඔබ හැඳ සිටින්නේ පිටරට යන විට අඳින ඔබේ හොඳම ඇඳුමයි. සිංගප්පූරුවේ දී ඔබ සිගරට් කොට පාරේ හැම තැනම විසි කරන්නේ නැත. වෙළෙඳ සල්වලදී ආහාර ගන්නේ නැත. ඔබද ඔවුන් තරම්ම ඔවුන්ගේ උමං මාර්ග ගැන ආඩම්බරය. සවස 5 සිට 8 දක්වා ඔර්චර්ඩ් පාර දිගේ වාහනය පැදවීම සඳහා ඔබ ඩොලර් 5ක් ගෙවයි. ඔබ කුමන තරාතිරමේ කෙනෙකු වුවත් ඔබ ආපන ශාලවක හෝ සාප්පු සංකීර්ණයක වැඩි වේලාවක් කාලය ගත කරන්නේ නම් රථ ගාල වෙත ආපසු පැමිණ වාහනය ගාල් කිරීම අවසර පතේ කාලය දීර්ඝ කර ගනී. සිංගප්පූරුවේ දී ඔබ ඊට කිසිවක් කියන්නේ නැත. එහෙම නේද? ඩුබායිහි දී ඔබ රාමසාන් උපවාස කාලය තුළ ප්‍රසිද්ධියේ කෑම ගැනීමට තරම් නිර්භීත වන්නේ නැත. ජෙඩාහිදී හිස ආවරණය කර නොගෙන පිටතට යාමට තරම් ඔබ නිර්භීත වන්නේ නැත. ලන්ඩනයේ දී ඔබ තමන්ගේ දුරකථන වියදම් වෙනත් කෙනෙකුගේ බිල්පතට හැරවීම සඳහා දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ නිලධාරින් මසකට පවුම් 10ක මුදලකට මිලට ගැනීමට නිර්භීත වන්නේ නැත. වොෂින්ටනයේ දී ඔබ පැයට සැතපුම් 55ට වඩා වේගයෙන් රිය පදවා “මම කව්ද කියලා දන්නවද? මම අසවලාගේ පුතා. මේ සල්ලි අරන් යනවා යන්න” යැයි පොලිස් නිලධාරින්ට කීමට තරම් නිර්භීත වන්නේ නැත. ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ මුහුදු වෙරළේදී ඔබ පොල් කටුවක් කුණු බාල්දියට හැර වෙනත් තැනකට දමන්නේ නැත. ඔබ ටෝකියෝවේදී. පාරේ කෙළ ගසන්නේ නැත. බොස්ටන් නුවරදී ඔබ තමන් වෙනුවෙන් විභාග ලිවීමට වෙනත් කෙනෙකු නොයදවන්නේ හෝ හොර සහතික මිලදී නොගන්නේ ඇයි? තවම අප කතා කරන්නේ එකම ඔබ ගැනයි. වෙන රටවල ඇති විදේශීය ක්‍රමවේදයන්ට ගරු කරන සහ අනුගත විය හැකි, එහෙත් තම රටේදී එසේ කළ නොහැකි ඔබ ගැනමය. තම මව් භුමියට පය තැබු හැටියේ පාර පුරා කඩදාසි කැබලි සහ සිගරට් කොට විසි කරන ඔබ ගැනය. වෙනත් රටකදී සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ , සියලු දේ අගය කරන පුරවැසියකු වීමට ඔබට හැකි නම් තමංගේ රටේදී ඔබට
එසේ කළ නොහැකි ඇයි?

පොහොසත් මිනිසුන්ගේ බල්ලන්ට ශරීර කෘත්‍යය කරවීමට පාර දිගේ ඇවිද්දවනවා. ඉන්පසු ඒ පොහොසතුන් අනෙක් අතට අපිරිසිදු පදික වේදිකා සහ අකාර්මක්ෂමතාව ගැන බලධාරින්ට චෝදනා කරමින් ඔවුන් විවේචනය කරනවා. ඔවුන් කියන්නේ කුමක් කල යුතුයි කියා ද? ඔවුන්ගේ බල්ලන්ට අවශ්‍යතාව ඇතිවන සෑම වරකම කොස්සක් හෝ ඉදලක් ගෙන ඔවුන් පසුපස යන්න ද? ඇමෙරිකාවේ නම් තම සුරතලා පාරේ කැත කල විට එය පිරිසිදු කිරීම ස්වාමියා විසින් අනිවාර්යයෙන් කල යුතුයි. ජපානයේ ද එසේමයි.
එහෙත් අපේ රටේ පුරවැසියෙකු මේ රටේ දී එසේ කරයි ද?

අපි ආණ්ඩුවක් තෝරා ගැනීම සඳහා ඡන්දය දැමීමට යමු. ඉන්පසු අපේ වගකීම සියල්ල අත්හරිමු.
අපෙන් සම්පූර්ණයෙන්ම සෘණාත්මක දායකත්වයක් ලබාදෙන අතරම අප සැප පහසුවට තබා ආණ්ඩුව අප වෙනුවෙන් සෑම දෙයක්ම කරනු ඇතැයි අපි අපෙක්ෂා කරමු. පිරිසුදු කිරිමේ කාර්යය ආණ්ඩුව විසින් කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එහෙත් කුණු දැමීම නැවැත් වීම හෝ මඳකට නැවතී බිම වැටී ඇති කඩදාසි කැබැල්ලක් අහුලා එය කුණු බක්කියට දැමීම අප කරන්නේ නැත. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පිරිසිදු වැසිකිලි ලබා දිය යුතු බව අපි අපේක්ෂා කරමු. එහෙත් වැසිකිළියක් නියම ලෙස පාවිච්චි කිරිමට අප උනන්දු වන්නේ නැත. තම රටේ ගුවන් සේවය හොඳම ආහාර පාන හා සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයිය යුතු යැයි කියමු. එහෙත් ලැබෙන සුළු අවස්ථාවක දී වුවත් සුළු හොරකමක් කිරීම අප නවතන්නේ නැත. මහජනතාවට සේවා සපයන සේවක මණ්ඩල වලට ද මෙය අදාළ වේ.

කාන්තාවන්, දෑවැද්ද, ගැහැණු ළමුන් සහ වෙනත් දැවෙන සමාජ ගැටළු වලට එරෙහිව ප්‍රසිද්ධියේ මහ හඩින් විරෝධය පලකරන අපි අපේ ගෙවල්වලදී ඊට හාත්පසින්ම වෙනස් දේවල් කරගෙන යමු. අපේ නිදහසට කරුණ කුමක් ද? ” වෙනස් විය යුත්තේ සමස්ත ක්‍රමයමයි. එසේ නම් මේ ක්‍රමය වෙනස් කරන්නේ කව් ද? “

සමාජ ක්‍රමය සෑදි ඇත්තේ මොනවායින් ද? අපේ පහසුවට අප කියන්නේ එය අපේ අසල්වැසියන්, අනෙකුත් නිවාස, අනෙකුත් නගර, අනෙකුත් ප්‍රජාවන් සහ ආණ්ඩුව යන කොටස්වලින් සමන්විත බවයි. අප කියන ලෙසට අනිවාර්යයෙන්ම එයට ඔබ සහ මම අයිති නොවෙමු. අප කරන්නේ අපේ පවුලේ අයත් සමඟ ආරක්ෂක කෝෂයක් තුළට වැදිමයි. අප එසේ කර ” මිස්ටර් ක්ලීන්” කෙනෙකු පැමිණ ඔහු මේ ක්‍රමය අතුගා දමා අප වෙනුවෙන් ආශ්චර්යයක් කරනු ඇතැයි අපි දුර ඈත ඇති රටවල් දෙස බලා සිටිමු. එසේ නැතිනම් අපි අපේ රට හැරදමා පලා යමු. අප විසින් ඇතිකරගත් බියක් අප පසුපස හඹා එන විට කම්මැලි බයගුල්ලන් මෙන් ඇමෙරිකාවට දුවන අපි ඔවුන්ගේ යස ඉසුරු වල පහස ලබමින් ඔවුන්ගේ ක්‍රමය අගය කරමු. නිව්යෝක් නගරය අනාරක්ෂිත වූ විට අපි එංගලන්තයට දුවමු. එංගලන්තයේ රැකියා විරහිත බව වැඩිවන විට අපි ඊළඟ ගුවන් යානයෙන් ගල්ෆ් කලාපය බලා යමු. ගල්ෆ් කලාපයේ යුද්ධය ඇරඹුණු විට අපි, අප බේරාගෙන නැවත මවු රටට ගෙන්වා ගන්නා ලෙස රජයට බල කරමු. හැම කෙනෙක්ම රට ආයෝජනය කිරීමට සහ දුෂණය කිරීමට සැදී පැහැදී සිටිති. මේ ක්‍රමය පෝෂණය කළ යුතු බව කසිවෙකුත් නොසිතයි. අපේ හෘද සාක්ෂිය මුදලට උකස් කර ඇත. ආදරණීය රටවැසියනි, මෙම ලිපිය බොහෝ සිතිවිලි උත්පාදනය කරවයි. එය ආත්ම පරීක්ෂාවට ආරාධනා කිරීමකි. එය කෙනෙකුගේ හෘද සාක්ෂිය රිදවයි.

ජේ. එෆ්. කෙනඩි ඇමෙරිකානුවන්ට කී වචන මම මෙහිදි අපට අදාල කර කියමි. ” අප රට වෙනුවෙන් අපට කල හැක්කේ කුමක්දැයි අසන්න. ඇමෙරිකාව සහ සෙසු බටහිර රටවල් අද සිටින තත්වයට අප රට ගෙන ඒම සඳහා කළ යුතු දේ කරන්න. අප රටට අපෙන් අවශ්‍ය දේ අපි කරමු.” “

4 comments July 2, 2008

දුටිමි මැකී ගිය පා සටහනක්

කාලෙකට පසු දැක ඔබව
බලා සිටියෙමි සිත පුරා
එහෙත් ඔබ මා නොදැක විලසින්
සිටියේය අහක බලා

අත්වැල් නොඇල්ලුවද හැබැයින් කිසිදිනෙක
එහෙත් සිතින් සිතා ගෙන අපමණ වර
ඇවිද ගියෙමි හිස් මාවත් වල මම ඔබ සමග
ඔබ දැන සිටියාද එය.

ඔබ කෙසේ දැන ගන්න ද
එ දවස කට කොනින් සිනා වෙනු මිස
සිතේ ඇති දේ
නොපැවසෙමු අප මුවින් කිසි කලෙක

දැන් නම් ඔබ මට ආගන්තුකයෙකු බදුය
එ දවස තිබු හැගුම්
නොමැත දැන් සිත් කොනක
මතක් වී ඒ හැගුම්
මට තනිව සිනා පහල විය

යනෙන මාවතක් බදු මේ ජිවිත‌ෙය
කෙතරම් පා සටහන් ඇතිද පසු කෙරුණු
එකක් දෙකක් හැර අන් සියල්ලම මැකි ‌ගොස්ය
අළුත් අළුත් සටහන් මතුවන මේ ජිවිතේ
ඉද හිට මතු වෙනා ක්ෂණිකයෙන් මැකි යන
පා සටහනකි දැන් ඔබ

මාවතේ ඇවිද ගිය නොයෙක් පා සටහන් අතර
තිර නොවු ඔබේ සටහන දැක
ඇති වී නැති වී යන සියළු දේ ගැන මට
සිනා පහල විය.

ඉදින් මා ඉවත බලා ගත්මි.

4 comments June 23, 2008

මාරි මිස වෙන බොජුනක්

පහුගිය දවස් ටිකේ තිබ්බ වැඩ රාජකාරිත් එක්ක විශේෂයෙන්ම මගේ පාඩම් වැඩ කටයුතු නිසා හරි හමං ලිපියක් ලියාගන්න බැරිවුනා. ඒ නිසා කර කර හිටපු වැඩ අතරේ හිතට ආපු අදහස් ටිකක් නං පුංචි පුංචි නිසදැස් විදිහට පල කලා. බොහෝ දෙනෙක් බල ලත් තිබුනා ඒ වගේම ප්‍රතිචාරත් ලැබිලා තිබුනා. ඉතිං මේ වෙනකං මං පල කරපු හැම ලිපියක්ම නිසදැසක්ම බලපු සහ ප්‍රතිචාර දක්වපු ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි කියන ගමන් මගේ අළුත් සිතුවිල්ල පටන් ගන්නයි හදන්නේ.

මානව දායාව කියන උතුම් වචනේ තේරුමවත් නොදන්න බොහෝ මිනිසුන් වෙසෙන සමාජයක තමයි අද අපි ජිවත් වෙන්නේ. අපි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ හැම දේකින්ම ඇග බේරගැනීමේ කලාවක්. කාට හරි ඇගිල්ල දික් කරලා තමන් ඒකෙන් අත් මිදෙන්න බලනවා හැර කෙලින් හිට ගන්න පිට මැද්දේ කොදු ඇට පෙලක් තියෙන මනුස්සයෙක් විදියට තමන් ඉදිරියේ තියෙන වගකීමට මූණ නොදි පස්ස හරවං ඉන්නවා. තමන් අතින් ඇත්තටම වෙන්න ඔන මොනාද කියලා හිතලා තියෙනවද කියන්න නං මම දන්නේ නැ.

දැං අවුරුදු ගණනාවක ඉදලා මේ ගෝලීයකරණය වෙච්ච ලෝකේ මිනිස්සු කතා කරනවා ආහාර හිගයක් ගැන. ලංකාවේ ජීවත් වන අපිටත් ඔය කියන කතාව පොදු වගේම ඒකෙන් දැඩි බලපෑමක් තියෙන රටක්. ඒත් අපි මේ වෙනකං මොනවද කරලා තියෙන්නේ. අපි වවමු රට හදමු කියලා කිව්වට ඒක ක්‍රියාත්මක  වෙන ප්‍රතිශතය ඔබ වගේම මාත් දන්නවා. සිරි ලංකාවේ ජීවත්වන අපි රට හාල්, රට එළවළු කටට වැටෙනකං කට බලියං ඉන්න මිනිස්සු. කියන්න කණගාටුයි මගේ සහෘදයෝ හුගක් රතු හාල් ඇටේක රසවත් හදුනන්නේ නෑ. ඇතැම් අයට රතු හාල් කියන්නේ මඩේ ඉන්න පණුවෙක් ගානට අප්‍රිය දෙයක්. ඕනවට වැඩිය තමන්ගේ අර පොෂ් ද මොකක්ද එක පෙන්නන්න ගියාපුවහම දන්නේම නැතුව පුස් වෙනවා කියලා  තේරෙන්නැ මේ සිංහළ උදවියට. අනේ ඉතිං මෙව්වට ………
හැබැයි ඉතිං මේ ඔක්කෝටම රතු හාල් මතක් වෙනවා රට හාල් කාලා සීනී වැඩිවෙච්ච දාට. බොරු කියන්න ඕන නැ අනේ මේ කටින් සාප කරල ඇති ඕන තරං උව්වන්ගේ සීනි වැඩි වෙයල්ලා කියලා.

අපේ රට ඉස්සරනං පෙරදිග ධාන්‍යාගාරය. දැං ආනනයනය අතින් අග තැන්පත් නිසා මොකක් කියනවද දන්නේ නැ. දැං ආහාර ආනයනය කරන හුගක් රටවල් තමන් වගා කරන අතිරික්තය අඩුකරන්නයි යන්නේ. ඒකට හේතුව ලෝකේ තවත් අර්බුදයක් වෙච්ච ඉන්ධන වලට  වැට බදින්න හදන ජීව ඉන්ධන වීම. ආනයනය කරන්න ආහාර නැති වුනාම අපේ රටට බලං ඉන්න වෙන්නේ අංශක 90න්ම උඩ දෙවියන්ගේ හාල් කැවෙනකං. මේ ගැන හොද විස්තරයක් තිබුනා සහන්ගේ කැටපත් පවුර බ්ලොග් එකේ “කතා කරන ඉරිගු” නමින්.

එක එහෙම උනාමයි කියමුකෝ. මුළු ලෝකයක් ගැන කතා කරනවට වඩා මං කැමතියි මං වඩාත් ආදරය කරන මගේ රට ගැන කතා කරන්න. මේ රටේ ඉන්න මිනිස්සු දන්නෙ නැ තමන් කන ප්‍රමාණයවත් මොකක්ද කියලා අපි කොච්චර වැව්වත් අපේ අතින් අරපරෙස්සම කියන එක ඇති වෙනකං ඒ වවන එකෙන් ඇති වැඩක් නැ. ඒ වගේම තමයි දැං කන්නේ රටින් ගෙන්නලානේ. සල්ලි වියදං කරලා අහක දාන එක නේද මේ අපි කරන්නේ.

තමං කන බොන ප්‍රමාණය දන්නේ නැ, කන්න ඕන මොනවද කියලා දන්නේ නැ. එහෙව් මිනිස්සු දවසකට තවත් කෙනෙක්ට කෑමට ගන්න පුළුවං කෑම කොච්චරක් නං කියලා කුණු බාල්දි වලට පුරවනව ද? බොරුවට ප්‍රදර්ශනේට ශිතකරණවල පුරෝගෙන ඉදලා කුණූ බාල්දි වලට හලනවා අනන්තවත් දැකලා ඇතිනේ. තමන් වේලකට කන ප්‍රමාණය ඉවරවෙන කං කන්නේ නැති මිනිස්සුත් ඕන තරං දැකලා තියෙනවා මම. ඒ මිනිස්සු තමන් කන්න ගත්තු එකෙන් 1/4 හෝ 2/4ක් විසික් කරනවා. ඒ වෙලාවට ඔය මානව දායාව උතුරා හැලෙන හිත් වලට මතක් වෙන්නේ නෑ නේද එක බත් ඇටයක් වේලකට කන්න බැරිව බඩගින්නේ වේලි වේලි ජීවත්වන පවුල් කී දාහක් මේ රටේ ජීවත් වෙනවද කියලා. තමන් කන්න ගත්තු බත් පත දැක්ක ගමන් මූණ පුළුටු කරගන්න ඇතැම් අය ඒක එහෙම්මම කුණු බාල්දියකට හලන වෙලාවල් මේ ඇස් දෙකට අනන්තවත් දැකලා තියෙනවා.මේ ලිපිය කියවන ඔබට මං මේ කතා කරන්නේ ඔබවත් හිතට ගන්න තමන් කන බොන දේට අගෞරව කරන්න එපා. එහෙමවත් කන්න නැති මිනිස්සු කී දෙනෙක් ඉන්නවද මේ රටේ කන්න ටිකක් ලැබෙනකං.මේක මට කියලා දුන්නේ මගේ ආදරණීය අම්මා. මං හිතනවා ඔබේ අම්මත් ඒ ගැන කියලා දීලා ඇති. තවත් කෙනෙක්ට නුදුන්නට කමක් නෑ ඒත් අහක දාන අපරාදේ කරන්න එපා. ඔබ නොකා අහක දාන බත් ඇටයක් ගානේ මේ රට දවසින් දවස ණය වෙවි රටින් හාල් ගෙන්නන්න ඕන. කිසිම ප්‍රයෝජනයක් නෑ නේද? තමන් කාලත් නෑ වෙන කෙනෙක් කාලත් නෑ. ඒත් රටේ සල්ලි ටික වියදං වෙලා එහෙම නේද? හරියට බැලුවොත් ඔබේ අම්මා තාත්තා සමහර විට ඔබම හම්බ කරපු සල්ලි නේද ? කන්න නැති මනුස්සයෙක්ට දීලා නං කමක් නෑ. දිරන්නෙත් නැති පොලිතින් උරේකට කවලා මොකක් ද ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඔය කටින්ම තමා රටේ සල්ලි නාස්ති කරනවා, බඩු මිල වැඩි කියලා රජයට හා අනෙක් අයට දෙස් දෙවොල් තියන්නේ. බඩු මිල වැඩිවෙන්නත් ඔය නාස්තිය හේතු වුනේ නෑ කියලා ඔබ හිතනවද? ඇත්ත මේ රටේ මුදල් නාස්තිය ඉතා ඉහලයි. අවශ්‍ය අනවශ්‍ය දෙකටම. නමුත් ඔබත් මේ නාස්තියට හවුල් කරුවකු බව නිකමටවත් හිතුවද? මේ හැම දේකටම තමන් අතිනුත් විය යුතු දෙවල් තියෙනවා, ඒ ව‌ගේම මෙව්වට තමුනුත් පොඩ්ඩක් හරි වගකීමකට බැදෙන බව අමතක කරන්න එපා. ආහාර විතරක් නෙමෙයි ඔබ අතින් නාස්ති වෙන තවත් දෙවල් ඇති. පොඩ්ඩක් පැත්තකට වෙලා හිතලා බලන්න ඒ මොනාද කියලා.  ඔබ ඒ ගැන හිතලා අද මේ ඔබ අතින් සිදුවන නාස්තිය නැවැත්තුවොත් ඔබත් නිහඩවම මේ රටේ දියුණුවට දායක වෙලා තියෙනවා.

අද මං මේ විදිහට ලියන්න හිතුවේ මගේ කං දෙකට ඇහිච්ච පුංචි කතාවක් හින්දා.සත්‍ය සිදුවීමක්, ඔබ මේ ලිපිය කියවන මොහොත වන විටත් සිදුවන. අපි ඉන්න ගෙවල් වලට ඈතින් ජීවත් වෙනවා පුංචි පවුලක්. අම්මයි, තාත්තයි, ළමයි හතරදෙනයි. තාත්තා විතරයි රැකියාවක් කරන්නේ. ළමයි හතර දෙනාට වේල් තුනට  කන්න දෙන්නේ CBL සමාගමේ මාරි බිස්කට්. එක වේලකට එක ගානේ වේල් තුනට තුනක්. මොකක් හරි එක වේලකට බර ආහාරයක් ලැබෙනවා. ඒත සමහර දවසකට. ඒක අහපු වේලාවේ මාව පිචිචෙනවා වගේ දැනුනා. එයිටත් වඩා අන්ත දුක් විදින මිනිස්සු මේ රටේ ඉන්නවා. ඔබ මනුස්සයෙක් විදිහට තවත් කෙනෙක් බඩගින්නේ ඉන්න එක දරන්න පුළුවං ද?

මහ පරිමාණයෙන් රටට අණ බෙර ගහලා පිං කං , සමාජ කටයුතු කරනවට වඩා නිහඩව මේ රටට වෙනුවෙන් කියලා කරන්න පුළුවං ඕන තරං දේවල් ඔබ ඉදිරියේ තියෙනවා. එයින් එකක් හෝ දෙකක් මං මේ ලිපියෙන් කිව්වා. පුළුවං නං උත්සහ කරලා බලන්න.

අදට මගේ ලිපිය මෙයින් හමාර කරනවා.

රජ බොජුන් රස ආහාර කවන්නට
නැත මගේ පුතේ මිල කල දෙයක් මා හට
ඔබේ කදුළු හඩවයි මා සිත දහස් වර
කියන්නට කෙනෙක් නැති මා ලතවෙයි මුළු තුන් යමම

වෙහෙස වෙලා වැඩ කල මුදු උදේ හවා
ලැබුනේ සොච්චමයි පුත මේ අත් වලටා
කන්නට දෙන්නේ දැං මං මොන කෙංගෙඩි දා?
මාරි මිසක් වෙන බොජුනක් නැත රජවෙන්ටා.

7 comments June 19, 2008

මා ගිය විනෝද ගමන

පයිතගරස්ගේ කෝණයෙන් බලා
සරල අනුවර්තී චලිතයක
නීල්ස් බෝර් සමග ඉලිප්සයක ගමන් කල මම
නිව්ටන්ට අවනතව ගුරුත්වය යටතේ
සිරස් චලිතයෙන් පොලොවට වැටී
ෆ්ලෝයමයක් ඔස්සේ ශාක පත්‍රයක
මයිටකෝඩ්‍රියාවක් තුලට ගමන් කෙලෙමි.
අහෝ මා හරිතලවයක සිර වුයෙමි
ඉදින් හිරු එළිය වැටෙන විට
ප්‍රභාසංස්ලේෂණයේ ආධාරයෙන්
ඔක්සිජන් අණුවක් විලස
ශාක පත්‍රයෙන් මිදි
මගේම හුස්ම පොද වී
ශරීර කූඩුව තුල ස්ථානගත වීමි.
අහෝ ඛේදයකි සිහිනය නිමා විය .

6 comments June 17, 2008

නිදහස් වෙමිද ඔබ මෙන්

මහ සෙනග පිරුණු තැන
හුදකලා වෙලා මම
නොයෙක් සිතුවිලි අතර
ඇවිද යමි පෙරට මම
මිහිරි සුමිහිරි සිහින දැක
ඔබ නිදයි කඩ පිලක් මත

ඔබේ පැතුම් කඩ වී නැත
කිමද ඔබට එවැන්නක් නැති සැටිය
මගේ පැතුම් කඩ වී ඇති සැටිය
කිමද මට එවැන්නක් ඇත

අනුන් හට ඔබ උන්මත්තකයකි
මට ඔබ නිදහස් මිනිසෙකි

ඉගෙනීම කරට ගෙන
සටහන් පොත්, ගේ දොර ඉඩකඩම්, යාන වාහන මතම
හැල්මේ දුවන ජීවිතයට
එයින් තොර ලොවක් නැත

වෙහෙසයි මට මහත්
එහෙත් කෙසේ නිදහස් වෙමිද මම
ඔබ මෙන්

3 comments June 16, 2008

මගේ මුළු සිත පුරාවට

මගේ පෙම වෙත ආදරයෙන් ලියමි

කියන්නට කිසිත් නොසිතන මොහොතක
දරා ගත නොහැකිව ඇද හැලෙන මේ පෙම
බිදින් බිද අහුලාගෙන
දැමුවා සිලි සිලි බෑගයකට
පිම්ඹා රිසි සේ ඈතට පියාඹන්නට
සිතුවේ යලිත් නොපැමිණෙයි කියා මම
එහෙත් අමතකව දැමුවේ
සිලි සිලි බෑගයකටය පෙම
කට තදින් බැන්දත්
මා තුලින් හමන සුලග
මදිවා වාගේ ඈත පියාඹන්නට බෑගයට
කැරකැවේ මා අසල ම
මොරදිදි මහා හයියෙන්
“දමාගනු මා ඔබේ සිත තුලට”
ඉදින් මා කුමක් කරමි ද ?
 යන්ට තැනු ඔබට මා යන්නට දුනිමි
තැලුනු සිත මා සතුය.
ඔබේ සැප මට සතුටකි.
එහෙත් පියාඹන්ට තනන පෙමට
කෙලෙස නම් මා යන්ට දෙන්න ද?
කිසිත් නොසිතා ඉන්ට බෑ මට
ඇදලා ගත්තෙමි සිලි සිලි බෑගය
යලිත් මා ලගට
උතුරන කදුලින් යුතුව
ලිහා දැම්මෙමි එහි ගැටය මා දැමු
පුරවා ගත්තෙමි……..
එහි තිබු ඔබේ පෙම යලිත්
මගේ මුළු හිත පුරාවට.

ඉදින්
නොලැබුනද ඔබව මට කිසි දිනක
යලිත් මා පෙම් කරන්නෙමි ඔබට
මා මියැදෙන තුරාවට

2 comments June 13, 2008

වතුර වගේ මෘදු දෙයක්

ඔන්න ඉතිං මගේ සිතුවිලි පිටුවේ මගේ අළුත් සිතුවිල්ල සටහන් කරන්නයි හදන්නේ. ඒත් පහුගිය සතියට සිදුවෙච්ච අවාසනාවන්ත සුදුවීම් එක්ක හිත එක තැනක තියාගෙන සැනසීමක් ගෙන දෙන සිතුවිල්ලක් ලියන්න පුළුවංද කියලා හිත ඇතුලෙන් මහ කලබෑගැනියක් කරනවා මේ සිතුවිලි. ඒත් නොලිව්වොත් කරං ආපු දේ අතරමග නවතිනව වගේ නේ. ඒක මේ සිතුවිලි වලට තේරෙන්නෑ.

මුලින් පල කරපු ලිපි කියවපු ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම ගියවර මම සටහන් කල ලිපියට ප්‍රතිචාර  තැබු ඔබටත් බෝහොම ස්තුතියි. ඔබේ ඒ ප්‍රතිචාර ඉදිරියට යමක් ලියන්න බෙ‌හෙවින් ඉවහල් වෙනවා.  එක් ප්‍රතිචාරයක  සටහන් වෙලා තිබුනා අකුරු ටිකක් ලොකු කරන්න කියලා. ඕක මටත් තියෙන ලොකුම ප්‍රශ්ණයක්. ඒත් කරන්නේ කොහොමද කියලා තාම මට හිතා ගන්න බැරි වුනා. මේක කියවන කවුරු හරි දන්නවනං කොහොමද කරන්නේ කියලා, කියන්න ඔබට බොහෝ පිං.  නැත්තං මං නොදන්න Technical වැඩ කරන්න ගිහිල්ලා තියෙන ටිකත් නැති කරගන්න තමා වෙන්නේ. :)

මේ දවස්වල බස්වල යන එන මිනිස්සුන්ගේ බයෙන් භිරන්ත වෙච්ච මූණවල් දැක්කම සිතුවිලි ඔක්කොම කීරිගැහිලා යනවා. පහුගිය සතියට වෙච්ච සිදුවීම් මතක් වෙනකොට එවැනි අපරාධ කරන, ඒවා කරවන, ඒවට අනුබල දෙන හා මෙව්වට වගකිව යුතු පිරිස් වලට දෙස් දෙවොල් තියලා සාප කරන්නමයි හිතෙන්නේ. හැම දේම වෙන්නේ හොදටයි කියලා අපි නිතර කිව්වට රටක්, සමාජයක් විදියට ඉන්දැද්දී මේ වෙන දේවල් වලට එහෙම කියන්නේ කොහොමද? මේව්වට ඉතිං මේ රට කරන හා කරවපු උන්දැලත් කොයි පැත්තකින් හරි වගකියන්න ඕන. හැබැයි ඒකට තමන් වගකිව යුතුයි කියලා දන්නවද දනන්නැ. 

මේ කඩිමුඩි අස්සේ අපේ ඉදිරි පරම්පරාවේ ඇතුළු ආපස්සට පරම්පරා ගණනාවකම අපේ දෙවැනි අම්මයි තාත්තයි වගේ ඉදලා අපේ ඇස් පාදන්න අපට අකුරු කරපු ගුරු මව්වරු සහ පියවරුත් දැන් අරගල කරනවනේ. රටේ එකාලගේ ඇස් පාදන්න ඉන්න මේ උදවියත් යුද්ධ කරන කොට ඉගෙන ගන්න පොඩි එවුන් මොනවා නොකරයි ද ?

මෙච්චර කාලේකට මම නං අහල තිබුනේ නෑ ගුරුවරු වැඩ වර්ජනය කරනවා.ඒකකත් මුලින්ම අහන්න ලැබුනේ අර උසස් පෙල ප්‍රශ්ණ පත්‍ර නිරීක්ෂණය කරන දවස් වල. මං හිතුවා එයින් පස්සේ මෙවැනි වර්ජන කරන එකක් නැ කියලා. කොයි තරම් දුරට සාධාරණද අසාධාරණද කියලා නං මං දන්නේ නැ. කොයි හැටි වෙතත් පාසලට අමතර නිවාඩු දවස් දෙකක්. හිතට නං මහ පිළිකුලක් වගේම මහ දුකක කුත් දැනෙනවා.

මේ රටේ ඉන්න බහුතරය තමං ගැන විතරයි හිතන්නේ තමන් ගැන විතරයි කතා කරන්නේ කියලා ඕවායින්ම පේනවනේ. මොකක් හරි තමන් අතින් වැරැද්දක් උනාම නං (ඔය වෛද්‍ය, හෙද, ගුරු ඇතුළු හැමෝම) මේක සේවයක් කියලා කියනවා.ඒකනේ වැඩේ කියන්නේ. තවත් කෙනෙක් ගැන අවංකවම හිතනවනං අර දවල් රෑ නොබලා, අවි වැසි නොතකා, බඩගින්නේ පිච්චි පිච්චි තමන්වත්, මේ රටත් ආරක්ෂා කරන්න හදන මිනිස්සුනගේ ආදායම වැඩි කරපල්ලා කියලා ඔය එක වෘත්තීය සමිතියකින් හරි වැඩ වර්ජනය කරනවානං අන්න ඒදාට මාත් ඔකට සහභාගි වෙනවා. ඒත් මේ ලක් ඉතිහාසයට එහෙම දෙයක් වෙලත් නැ වෙන එකකුත් නැ. කොහේ හරි ඉන්න එකෙක් මැරිලා හරි කමක් නැ අපි බේරිලා අපේ බඩ කට පරෙනවනං එච්චරයි. ඒක තමයි මේ උගත් කියලා කියන මිනිස්සු අපට පෙන්නන්න හදන්නේ. මේ මේලාවේ “බෙර හඩ” නාට්‍ය(මං හිතන්නේ මං හරි) එන ගීතයකුත් මතක් උනා මට.

කන්න දෙනවනං අපට
බොන්න දෙනවනං අපට
මොන කෙංගෙඩියද තව ඔන කියන්නේ………

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා අපි හැමෝම පිලිගන්නවා. ඒත් මේ ලැබෙන ආදර්ශත් එක්ක ඉදිරි පරම්පරාවලට ගොඩ බහින්න, ගොඩ බැහැලා ඉන්න ඉදිරි පරම්පරාවල අය මොනවැයින් මොනවා නොකරයිද කියලා මගේ මේ සිතුවිලි මගෙන් ප්‍රශ්ණ කරනවා. ඒ වගේම ඔබෙනුත් ප්‍රශ්ණ කරනවා. මට උගන්වපු අපේ ගුරුවරුන්ට අදටත් මං දෝත් මුදුන් දීලා වදිනවා. ඒ තරං ගෞරවයක් තාමත් මං එතුමියන්ට දක්වනවා. ඒ පුරුදු ඉදිරි පරාම්පරා වලටත් ඒ විදිහට පවතීවා කියලා තමා මගේ ප්‍රාර්ථනය.

දැනුම බෙදන ඇස් පාදන ගුරු මවක් පියෙක් හැටියට ළමයි වෙච්ච අපිට කොයිතරං නං දේවල් කියලා දීලා ඇද්ද? ඒ ලැබිච්ච අවවාද අනුශාසනා එක්ක අපට වැරදුනු , වරදින්න තිබ්බ තැං කොච්චරක් නං හදාගෙන තියෙනව ද? කොච්චරනං අළුත් දේ ඉගෙන ගෙන තියෙනව ද ?

ඒත් මේ දැං වෙන දේවල් එක්ක…… අනේ මංදා….

පරණ පත්තර ගොඩක් අවුස්සන කොට එක පත්තරේක(ලංකාදීප) පුංචි තිරුවක සටහන් වෙලා තිබ්බ චීන පඩි වදනක් හම්බ උනා. ඒකේ සටහන් වෙලා තිබුනා කෙනෙක්ගේ ජීවිතේට වටිනා කියන පණිවිඩ 3ක් අවවාද හැටියට. අවවාදේ දීලා තිබුනේ ගුරුවරයෙක් විසින් තමන්ගෙන් ඉගෙන ගත්තු සිසුවෙක්ට. ඒක කියවපු වේලාවේ මට හිතුනා දැං අපේ මේ ගුරු අම්මලා තාත්තලා මොකක්ද මේ දෙන අවවාදේ කියලා. කොහොම වෙතත් මං ඒ ලිපිය තිබ්බ විදිහටම මේකේ පල කරන්නම්. මෙච්චර වෙලා කියපු දේවල් වලට ගැලපුනත් නැතත්, ආදාල උනත් නැතත් ඒ වදනින් අදට වගේම හෙටටත් ගත යුතු දේ බොහොයි.

 
තම ගුරුතුමාව සිටි චන් සුන් මරණාසන්නව සිටින බව ආරංචි වීමෙන් කැළඹීමට පත් ලාඕ ට්සු වහාම ගුරුතුමා බැලීමට ගියේය. චන් සුන් තමාගේ ජිවිතයේ අවසන් මොහොතට ළගා වී ඇති බව පැහැදිලිව දකින්නට තිබුණි.

“ගුරුතුමණි, අවසන් වශයෙන් මට දිය හැකි උතුම් ඔවදනක් ඇද්දැයි දැන ගනු කැමැත්තෙමි” , යැයි ලාඕ ට්සු ගෞරවයෙන් විමසා සිටියේය.

“ඔබ මගෙන් විමසුවේ නැති උනත් මම ඔබට කියන්නටයි හිතා හිටියේ” , චන් සුන් පිළිතුරු දුන්නා.

“කුමක් ද ඒ ගුරුතුමණි? “

“ඔබ ඔබේ උපන් ගම හරහා යන විට ඔබේ කරත්තයෙන් බැස ගමන් කළ යුතුයි” .

” හොදමයි ගුරුතුමණි, ඒ කියන්නේ කිසිවෙක් තමන්ගේ මුල අමතක නොකළ යුතුයි කියා නොවේ ද? “

“ඔබ හොදට උස ගසක් දුටු විට ඒ අසලට ගොස් එහි මුදුන දෙස හිස ඔසවා බැලිය යුතුයි” .

“හොදමයි ගුරුතුමණි. ඒ කියන්නේ මා වැඩිහිටියන් හට ගරු කළ යුතුයි කියා නොවේ ද?”

“හොදයි, දැන් ඔබට මගේ දිව ‌ෙප‌ෙනනවා දැයි හොදින් බලන්න” , කියමින් බලවත් උත්සාහයෙන් චන් සුන් ඔහුගේ නිකට පහළට හෙළා ගත්තා.

“එහෙමයි ගුරුතුමණි”.

” ඔබට මගේ දත් පෙනෙනවාද ? “

” නැහැ ගුරුතුමණි, දත් එකක්වත් ඉතිරි වෙලා නැහැ.”

” ඒ ඇයි කියා ඔබ දන්නවාද? ” චන් සුන් ඇසුවා.

” මම හිතන්නේ”. ලාඕ ට්සු මදක් වෙලා කල්පන‌ා කරමින් සිට කතා කළා .” මම හිතන්නේ දිව ඉතිරිව තියෙන්නේ එය මෘදු නිසයි. දත් වැටුනේ ඒවා තද නිසයි. එහෙම වෙන්න ඇති නේද ? ගුරුතුමණි”

“ඔව් මගේ පුතා” , චන් සුන් හිස වැනුවාය. ” ඔය තමයි මේ ලෝකය ගැනදැන උගත යුතු දේ. මට වෙන ඔබට කියා දෙන්නට දෙයක් ඉතිරි වෙලා නැ.”

පසු කලක දී ලාඕ ට්සු මෙහෙම ප්‍රකාශ කළා. ” වතුර වාගේ මෘදු දෙයක් මේ ලොකේ වෙන නැහැ. ඒත් රළුකම අභිබවන්න, ජය ගන්න ඒ වාගේ හැකියාවක් ඇති තවත් දෙයක්  නැහැ. මෘදු බව තද බව යටපත් කරනවා. කරුණාවන්ත බව බලවත් බව පරදවනවා. හැමෝම මේ සත්‍යය දන්නවා උනත් එය ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් වෙන්නේ බොහොම ටික දෙනාටයි.” (ලාඕ ට්සු කිස්තු පූර්ව හය වන සිය වසේ චීනයේ ජීවත් වූ දාර්ශනිකයෙකි. කොන්ෆියුසියස් දාර්ශනිකයාගේ සමකාලිකයෙකැයි ද සැලකෙන ලාඕ ට්සු ‘ටාඕ ධර්මය’ ලොවට හදුන්වා දුන් දාර්ශනිකයා ලෙස සැලකේ. (පරිවර්තනය – උපාලි උබයසේකර) )

හොදයි මේ පඩි වදනේ සටහන් වූ ආකාරයට වතුර වගේ මෘදුව ඉදලා රළු දේ බලවත්දේ පරදවලා කරුණාව දයාව මේ ලොකේ රජයන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගුරු වෘත්තිය (ඇත්තෙන්ම එය සේවාවක් ලෙස සැලකන්න තමා මං කැමති) වැනි උතුම් දේකට අගෞරවයක් ඉදිරියේදී වත් නොවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. එය වෘත්තියක්ම ලෙස පමණක් නොසිතා උතුම් සේවාවක් ද ලෙස සිතන්නට තරම් ඔවුන්ගේ සිත් පහන් වේවා.

අදට මගේ සිතුවිල්ලට සමුගැනීමේ තිත තබන්නයි හදන්නේ. අළුත් සිතුවිල්ලකින් හමු වෙමු. :)

 

 

2 comments June 12, 2008

හතරැස් අඩිය

අපූරුවට ලියන සැම අතරේ මගෙත් පුංචි පුංචි හරි ලිපි කියවන අය දැක්කම හරි සතුටු හිතුනා. මං ලියපු දේවල් මංම හොරෙන් කියවලා කාටවත් නොපෙනෙන්න විසි කරපුඑක තමා මෙච්චර දවසක් කලේ. හැබැයි ඉතිං දැං මං ලියපු දෙයක් කියවන අය ඉන්න නිසා ලියපු ඒවා විසි නොකර පල කරන්න පුළුවං. ඔන්න ඉතිං එහෙනං පුරුදු විදිහට අද මගේ සිතුවිල්ල පටන් ගන්නයි සුදානම.

පහුගිය වර මගේ ලිපියට ලැබුන පුතිචාර සහ ඒක බලපු අය දැකලා මං හිතෙන් හරි සතුටු වුනා.ඒ අතරේ පෞද්ගලිකවත් දිරි ලැබුනා දිගටම ලියන්න කියලා. ප්‍රතිචාර දක්වපු බෝ, වරුන, සහන්, කසුන් ඔය හැම දෙනාටම බොහොම ස්තුතියි. වේලාවකට හිතෙනවා මේ ස්තුතියි කියන වචනේ ටිකක් බර මදි කියලා. හැබැයි අර ඕන දේකට Thank You, Sorry කියන එකට වඩා නං දස දහස් වාරයක් අගෙයි.

හොදයි අද  මං මගේ දහසකුත් එකක් සිතුවිලි අතරින් මොකක් ගැනද කියන්නේ. අපි හැමෝටම මොනාම හරි දෙයක් හිතෙන්න වේලාවක් අවේලාවක් නැ නේ. සිතුවිලි ගලං එන්නෙ ගංගාවක් වගෙනේ.එක නිරන්තරයෙන් සිදුවෙන දෙයක්.එහෙම හිතිච්ච හුගාක් දෙවල් මං මේ හිතේ පුරෝගෙන ඉන්නවා. ඔය සිතුවිලි සමහරක් වෙලාවට එන්නේ පද වැල් වගේ. ඉස්සර නං එහෙම හිතිච්ච පද වැල්, සමහර කරුණු කාරනා අමතක කරලා දානව. ඇත්තටම කරනවා නෙමෙයි අමතක වෙනවා. හරියට එක බස් නැවතුමකින් නැගලා ඊගාව නැවතුමෙන් බැහැලා යනවා වගේ. පෞද්ගලිකව මට නං හුගක් දේවල් හිතෙනවා මගේ නිල ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන වේලාවල් වලට. ඒ කිව්වේ බස් එක.

මම වාඩාත් කැමති පොදු ප්‍රවාහන මාධ්‍ය විදියට කෝච්චියේ ගමන් යන්න උනාට මං කෝච්චියේ ගිහිං තියෙන්නේ අතේ ඇගිලි ගානටයි කකුලේ ඇගිලි ගානටයි ඊට වඩා ඕනනං තව හය හත් වතාවක් විතර වෙන්න ඇති. දුර ගමනකට කියලා ගියේ ඔය අතරින් නුවරයි වේයන්ගොඩයි හික්කඩුවටයි විතරයි. කෝච්චියේ තියෙන ඒ සද්දේටයි ඒක පැද්දෙන තාලෙටයි මං හරි කැමතියි. :) දුම්රිය ප්‍රවාහන මාධ්‍ය විදියට භාවිතා කරන්න තරං දුරක නෙමෙයි මගේ ගමනාන්ත දෙකම තියෙන්නේ.

ඕන්න ඉතිං කියාගෙන ආපු දෙයින් පිලී පැන්නනේ.

මං මේ කියන්න හැදුවේ අපිට බස් එකේ රු. … කීයකට හරි හතරැස් අඩියක් හම්බවෙනවා එක්කො හිටගෙන යන්න නැත්තං ඉදගෙන යන්න. ඉතිං ඔය හතරැස් අඩියේ ඉන්නකොට අපිට විවිධ දේවල් අහන්න දකින්න ලැබෙනවා නේ. අපි කැමති උනත් අකමැති උනත්. ඔය අතරේ අපිට ඇහෙනවනේ ඉතාම සුමිහිරි ගී පද රචනා සහිත සංගීතය, බොරළු විසික් කරන්නා වගේ ඇහෙන ඉමිහිරි වාග් සංවාද ඒ විතරක් ද කැකිරි පලන්නා වගේ ඇහෙන කිංකිනි හඩ වල්. (පාවිච්චි කරපු වචන ටික හරි මදිද මංදා) පංකාදු පහයි එව්වා. ඕන්න ඔය වේලාවක මගේ හිතට ආවා පොඩි අදහස් ටිකක්. කොයි තරං දුරට සාර්ථක ද කින්න නං දන්නේ නෑ. කාට හරි පුළුවං නං ඒ පද ටික ඊට වැඩිය හොදට ගලපන්න, ඒ ගැන මං වඩාත් සතුටු වෙනවා.

උදේ………….

උක්කුංගේ කෙකර නාදයෙන් බසයට ගොඩ වුනු මම
දැන් සිටගෙන සිටින්නේ කැකිරි පලන ස්පීකරය ලග
කකුල් කඩිත්තුව සෑදෙනකං හිටගෙන යන අපව
DJ ආරා ගේ මෝඩ jokes සැනසුවා එවිට

හවස………………..

ටාසන්ගේ හා දාසන්ගේ හු හඩ මැද්දේ
නැගුනෙමි සෙනග පිරි 138 සද්දේ
හය හමාර පසුවේගෙන යන මෙවිටේ
                ඇසුනේ කණාමැදිරියේ මහා අදෝනාවකි ඒ පැත්තේ.        

 

පොදු ප්‍රවාහන භාවිතා කරන අපි ඒ වෙනුවෙන් ලබා දෙන සේවයට ගරු කිරීමක් කරන්නත් ඕන. කොච්චර අඩු පාඩු තිබුනත් මං මේ හැදුවේ ඒ ගැන මුකුත් කියන්න නෙමෙයි. අපේ කං වලට බලෙන් පුරවන්න හදන දෙයක් ගැන අදහසක් පල කරන්න විතරයි. එක්තරා විදියක බාල රසවින්දනයක් අත් විදින්න කියලා කියන අදොනාවක් වගේ තමා මට මේක දැනුනේ. කෙනෙක්ගේ රසවින්දනයට අවලාද නගන්නවත් අපහස කරන්න වත් නෙමෙයි මේ වෑයම මං දැරුවේ. අනික් අතට ඕවා ඉදිරිපත් කරන මිනිස්සුන්ට ඩිංගක් හරි මොලයක් තිබුනානං ඔය වගේ රසවින්දනයක් ඇතිවෙන්නෙත් නෑ, ඔයිට වඩා කොච්චර හොද වැඩ සටහන් හැදෙන්නත් තිබුනද කියලා මට ඒ වෙලාවේ හිතුනා.

යන රැල්ල අතින් ගයලා නවත්තන්න පුළුවං උනානං මේ වෙන කොටත් ඔව්වා නැතිවෙලා. ඒත් දැං ගොනා බැදගෙන කරත්තේ ගිහින් ඉවරනේ. අර පරණ සිංහල කියමනක් තියෙන්නේ නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරොවෙන් කපන්න තියන්න එපා කියලා. ආන්න ඒ වගේ තමා මෙව්වත්.ඉතිං මෙච්චර දුර ගිහිං තියෙන මෙවැනි දේ ගැන අපිට කරන්න පුළුවං වෙන්නේ මේ වගේ පුංචි හඩ ගෑමක් කරන්න විතරයි.

ඔන්න ඉතිං එහෙනං අදට මගේ සිතුවිල්ල හමාර කරනවා. ආයෙත් දවසක තවත් සිතුවිල්ලක් ලියන බලාපොරොත්තුවෙන්. :)

4 comments June 5, 2008

කහවත් න්‍යෂ්ටිය

ඔන්න ඉතිං අද මගේ සිතුවිල්ල පටන් ගන්නයි හදන්නේ. ඒත් මොන හේතුවක් ද මංදා ලියන්න මුකුත් හිතට ආවේ නෑ. මේ දවස් වල මදි නොකියන්න වරුසාව තියෙන හිංදා සිතුවිලි වලට පිනි බාලාද කෙ‌හෙද? ඒත් ඉතිං පටන් ගත්තු වැඩේ අතරමග නතර කරන්න බැනේ. මොනාම හරි ලියන්නත් එපැයි. මුලින්ම එහෙනං ගිය වර මගේ ලිපිය කියවපු සෑම සියලු දෙනාටම ස්තුති කරන්න එපැයි.ඒවගේම ප්‍රතිචාර දක්වපු ඔබ සියලු දෙනාටත් ස්තුතියි. අළුත් පොතක් ගැනත් ඒ අතර සටහන් වෙලා තිබුනා. ඇත්තෙන්ම අදාල පොත හොයන්න කියලා book shop එකට යන්න හදන කොටම ඉතාම අනර්ඝ මට්ටමේ වර්ෂාවකින් ආශිර්වාද ලැබුන හින්දා ගමන අතර මග නතර කරන්න උනා. “මිගුවල් වීදීය ” ගැන විස්තර කියපු  ඔබට බොහොම ස්තුතියි. අනිවාරයෙන්ම පොත සොයා ගෙන කියවන්න තමයි මගේ බලාපොරොත්තුව. මට ලැබෙන ප්‍රතිචාර හැම වෙලාවෙම මාව දිරිමත් කරනවා.

දැං ඉතිං ඊගාව ප්‍රශ්නේ මොනාද අද මං ලියන්නේ. මං මීට කලින් ලිපියේ කිව්වා මතක ඇති මං පද ගැලපීම අතින් පංතියේ අන්තිමයා කියලා. කථාව 100% ක් ඇත්ත. නමුත් මේ ලගදි මගේ අතිජාත මිත්‍රයෝ ටික තුරුළු කරං එයින් එක්කෙනෙක් අත උඩ තියාගෙන මං කිව්වේ මගේ පණ වගේ තියෙන සටහන් පොත් ටික බස් එකේ යද්දි හිත පහන් වෙච්චි අවස්ථාවකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ මගේ හිතට ආපු අදහස් ටික ගෙදර ගිය වෙලාවේ කොලේක ලිව්වා. ආන්න ඒ ටික අද මගේ සිතුවිල්ල විදිහට පලකරන්න තමයි මං මේ හදන්නේ. දහසකුත් අඩු පාඩු ඇති. ඒත් අදහසක් තියෙනං පල නොකර ඉන්න එපා. ඕනෑම දෙයක් මං භාර ගන්නවා. එහෙනං අදට මගේ සිතුවිල්ලෙන් මං නවතිනවා. ආයෙත් දවසක සිතුවිල්ලක් ලියන බලාපොරොත්තුවෙන්. :)

ඉලෙක්ට්‍රෝනයක් ශක්ති මට්ටම් අතර පනින වේගය පාලනය කරමින්
බසයේ මුල්ලකට වී පොතේ සිර වු ඉලෙක්ට්‍රෝනය සමග පොර බදින වේලේ
එකවරම ඇතුලු වු හිස මුඩු කරගත් කහ පැහැ න්‍යෂ්ටියක්
මගේ දගකාර ඉලෙක්ට්‍රෝනය ඇ වෙත ඇද ගනු ලැබිනි.

මා ඉලෙක්ට්‍රෝනයෙන් හා පොතෙන් මිදුනි

කහ පැහැ බෑගය තුරුලු කරන් සිටි ඔබ දෙස
කෙසේ නම් නොබලා සිටින්න ද?
 
ඔබ ඔය සොයන සත්‍ය කිම?
කියා දිය හැකි  ද මට

මා සොයන සත්‍ය ඔබගේ සත්‍ය හා සමපාත නොවන බව
ඔබේ පියකරු කහවත පැවසුනි මට

එහෙත් සොයන්නට ඔබේ සත්‍ය
සිතුණු වාර අපමණය මට

එනමුත්
නොලද්දෙමි කමටහන් අයැද මුත් අපමණ වර
අපේ අම්මාගෙන්.

5 comments June 2, 2008

සෙල් ලිපිය

දවසේ කුමන හෝ වේලාවක, ඕනැම මොහොතක ආයුබෝවන් කියා සුභ පැතීම ශ්‍රි ලාංකික වු අප සතුව අප දන්නා අතීතයේ සිට පැවත එන්නක්. සුභ උදෑසනක් සුභ මධ්‍යහනක් හෝ සුභ රාත්‍රියක් වශයෙන් දවසේ වේලාව අනුව සුභ පැතීමේ කලාව සුද්දාගෙන් අපට උරුම වු දෙයක් කියලයි මගේ හැගීම.මෙහි ඇති හොද හෝ නරක පිළිබදව කතා කිරීම නම් නෙවෙයි මගේ අද සිතුවිල්ල. මට මේ ගැන යමක් කියන්න හිතුනේ පුරුද්දට මේ වේලාවේ මේ ලිපිය කියවන ඔබට ආරම්භයේ දීම මං කොහොම සුභ පතා ආමන්ත්‍රණය කරන්නද කියන ගැටළුව මට ඇතිවුන නිසා . මගේ පලමු ලිපියෙනුත් ආයුබෝ වේවා කියා සුභ පැතු නිසා මේ ලිපියෙනුත් ඒ ආකාරයෙන්ම ආමන්ත්‍රණය කරනවාට ඔබ අමනාප වෙන එකක් නැ කියලා මම හිතනවා. ඔන්න එහෙනම් ආයුබෝ වේවා! ඒ වගේම සිනා බෝවේවා :) :) :)

මගේ පලමු ලිපියට  ප්‍රතිචාර ඒවු  ඒ හැමෝටම මගේ හද පිරි ස්තුතිය. :) නම් වශයෙන් මතක් නොකලට අමනාප වෙන්න එපා කියලත් කියන්න ඕන. මං ලියපු දෙයක් වෙන කෙනෙක් කියවන එකම මට ලොකු සතුටක්. :D

මේ ලිපිය ලියන්න කලින් මම මොකක් ගැනද ලියන්නේ කියන සිතිවිල්ලක පැටලිලා හිටියා. අදහස් කිහිපයක්ම ආවත් ඒ එකකටවත් හිත ලියන්න කියලා ඉඩ දුන්නේ නැ. පද ගැලපීම අතින් මම පන්තියේ අන්තිමයා නිසා කවියක්, පද වැලක් පල කරන්න තිබුන අදහස මම අතහැර දැම්මේ මුලින් මයි. කොහොමෙන් හරි  මම කියවපු පොතකින් මට හරි අපූරු අදහස් ටිකක් ලැබුනා. මට හිතුනා අද මං ඒ ටික මගේ ලිපියට එකතු කලොත් හොදයි කියලා. කෙනෙක්ට ඒකෙන් යමක් හිතන්න පුළුවං උනොත් ඒකත් ලොකු දෙයක් නේ. මේ පොත නිර්මාණ කරුවෙක්ට, ලේඛකයෙක්ට, මාර්ගෝපදේශයක් ලබා ගන්න පුළුවන් විදිහේ පොතක්. මම කියවපු හුගක් සිංහල බ්ලොග් පිටු අතර හුගක් හොදට ලියන්න කියන්න පුළුවන් අය හිටියා. ඒ අය හුගක් ඉදිරියෙන් ඉන්නවා. මම මේ ලියන වැඩේට බොහොම අළුත්, කොඩුකාරයෙක් කිව්වත් හරි.

යමක් නිර්මාණය කරද්දී විශේෂයෙන්ම ලිපියක් වගේ දෙයක් ලියද්දී තමන්ගේ හිත තුලින් මතුවන සිතුවිල්ල, සංවේගය වචන වලට පෙරලන්න කෙනෙක් විදින පිඩාව ලියපු දෙයක් ආසාවෙන් කියවන කොට ඇතිවෙන්නෙ නැති බව මට දැං හොදට තේරේනවා. මේ ලිපිය කියවන ඔබත් සමහරක් විට නිරන්තරයෙන් ලිපි ලියන නිර්මාණ කරුවෙක් වෙන්න ඇති.මේ විදිහට අපේ උතුම් භාෂාවෙන් අන්තර්ජාලයේ බ්ලොග් සටහන් ඉදිරිපත් කරන ඔබටත් තවදුරත් හොද නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථයත් මේ වේලාවේ මේ ලිපියට මම එකතු කරනවා.

ලිපියේ තුන්කාලක් විතර ලියලත් ඉවරයි. එත් තාම කියන්න හදපු දේ කියවුනේ නෑ. :D :D

මම මුලින් කිව්ව පොත මට හරි අහංබෙන් ලැබුන පොතක්. අතට ගනිද්දි මම හිතුවේ මම කියවපු අනිත් පරිවර්තන කෘති වගේ මේකත් ලස්සන කථාවක් කියලයි. පොතේ අන්තර්ගතය ගත්තාම කතා ගොඩක් තමයි. හැබැයි එකෙන් කියන්න හදන දේ හරිම ලස්සනයි. සමහරක් විට ඔබ මේ පොත කියවා හෝ පරිහරණය කරලත් ඇති. ඒක හින්දා මේ පොත කියවු අයගේ වැඩි දැන ගැනීම සදහාත් නොකියවු අයගේ දැන ගැනීම සදහාත් මගේ සිතුවිල්ල තුල මම මේ අදහස් ටික පලකරනවා.

මේ පොත තමයි රුසියානු ලේඛක කොන්ස්ටාන්ටීන් පවුස්තවුස්කිගේ ” THE GOLDEN ROSE” , පරිවර්ථන නාමය “රන් රෝස මල”. මේ පොත සිංහලට පරිවර්ථනය කරලා තියෙන්නේ ආරියවංශ රණවීර කියන ලේඛකයා. මේ පොතේ එක්තරා මාතෘකාවක් නමින් “සෙල් ලිපියක්” යටතේ පලකරලා තියෙන අදහස් ටිකක් තමයි මම මේ ඔගොල්ලන්ට කියන්න හදන්නේ. පොතේ තියෙන විදිහටම මම ඒ කොටස් කිහිපය උපුටා දක්වන්නම්. ඒ මොකද එහි අන්තර්ගතය මගේ වචනයෙන් කියනවාට වඩා ලේඛකයාගේ රසවත් වදනින් ඉදිරිපත් කරන එක ලේඛකයාට කරන ගෞරවයක් වගේම ඒ විදිය තමා වඩා හොද කියලා මට හිතුනා. සමහර විට හිතෙයි ඒ වචන ටිකක් බර වැඩි කියලා, ඇත්තටම මටත් එහෙම හිතුනා. ඒත් ඒ වචන ඒ වදියටම ලියවෙන්න ඕන කියලම හිතෙනවා.

“……. ගම‌ට නුදුරින් වෙරළ ඉමේ එක් සෙල් කුළක් නැගී සිටියි. බෝහෝ ඉහත දී ධීවරයන් විසින් කොටන ලද සෙල් ලිපියක් එහි වෙයි. “මුහුදේ දී නැතිවුණු, ඉදිරියට ද නැතිවීමට නියමිත අය සිහි වීමටයි “යන්න ඉන් කියැවෙයි.

ලැට්වියන් ලේඛකයකු මේ සෙල් ලිපිය ගැන විස්තර කියු විට මට සිතුනේ අනෙක් හැම ස්මරණ වාක්‍යයක් මෙන්ම මෙය ද ඉතා දුක් උපදවන බවයි. එහෙත් ලැට්වියන් ලේඛකයා මෙය අසා මා සමග එකග නොවී හිස සෙලවීය.

“නෑ නෑ මේක බොහොම එඩිතර සෙල් ලිපියක්. මිනිසාගේ නොපසුබස්නා වීර්යයට මෙය සාධකයක්. ශ්‍රමය හා පීඩාව ඉදිරියේ මිනිසාගේ නොසැලෙන ශක්තිය විස්තර කෙරෙන කෘතියක ආප්ත වාක්‍යය ලෙස මෙය යෙදීමට මා පැකිලෙන්නේ නහැ” මම ඔහු හා එකග වීමි. ඒ එක්කම මට කල්පනා වූයේ මේ ආප්ත වාක්‍යයම සුදුසු වෙනස්කම් සහිතව ලේඛකයින්ට හා ඔවුන්ගේ ලේඛක කාර්යය විස්තර කිරීමට යොදා ගත හැකි නේද යන්නයි.

බාධක හා දුෂ්කරතා හමුවේ ලේඛකයකුට කිසිසේත් පසු බැසිය නොහැකිය. කවර දෙයක් සිදු වෙතත් ඔහු පෙර සිටි සහෝදර ලේඛකයින් කළ කාර්යය ඔවුන්ගෙන් භාර ගෙන, ඒ සද් කිර්යයට වර්තමාන ජනතාව වෙනුවෙන් උර දිය යුතුය. සාහිත්‍යය නිමේෂයකට හෝ නිහඩ වීම වුවද ජාතියක මරණය හගවන බව කී සැල්ටිකොව් ෂෙරීඩන්ගේ කීම මොන තරම් සත්‍ය කියමනක් ද?

ලේඛක කාර්යය හුදෙක් ශිල්පයක් හෝ ජීවනෝපායයක් පමණක් ලෙස ගණන් ගැනීම අතිශයින් සාවද්‍යය. ලේඛන කාර්යය යනු නිර්මාණය සදහා ඇතුළතින් පැන නගින උද්වේගයේ බාහිර ප්‍රකාශනයකි.

ලේඛකයා විසින් එකී උද්වේගයට පීඩනයත් ආස්වාදයත් යන දෙයාකාර චිත්ත තත්වයන් මැද්දේ හිස නමනු ලැබීමට බලපාන්නේ කුමක්ද?

පළමුවෙන්ම – ඔහුගේ හදවත අණ දෙන හඞගෑමයි.

හෘදය සාක්ෂියේ හඞත්, අනාගතය පිළිබද අචල විශ්වාසයත් ඇති යම් තැනැත්තෙකුට සිය අභ්‍යන්තරයේ ජනිත වන ලීවීමේ ආශාව මැඩ අර්ථශූන්‍ය ජිවිතයක් ගත කිරීමට නොහැකිය. ඔහු තම අධ්‍යාත්මයේ පිරී ඉතිරෙන ආවේගයන් පිට කල යුතුය.

එහෙත් මිනිසකු, ලේඛකයකු බවට පත් කිරීමට ඔහුගේ හදවතේ හඩගෑම පමණක් ප්‍රමාණවත් නොවේ. බොහෝ විට ජීවිතයේ තුරුණු වියේ, අපගේ හැගීම් තවමත් ජිවිතයේ රළු පහරින් බැට කා ඔප මට්ටම් නොවී තිබියදී, තුරුණු ලේඛකයෝ සිය හදවත් විදාරණය කරති. එහෙත් අප වඩාත් පැණසර වන තලතුනා වියේ දී අප වඩාත් ප්‍රබල හඩගෑමකට කන් දෙමු. ඒ හඩ අප ජිවත් වන කාලයේ ජනතාවගේ හඩයි. මනුෂ්‍යත්වයේ හඩයි. මිනිස් දෘෂ්ටියෙහි සුනිශිත බව ඔප් නැංවීමට කිසියම් දෙයක් හෝ කරන්නට අපි මහත් ඕනෑකමක් දක්වමු.

අපායේ අග්නි ජලා තුලින් ගොස් මහත් වූ පෙළහර පෑමට වුවද මිනිසා සිය අභ්‍යන්තර පෙළඹවීම නිසා යත්න දරයි “

හොදයි මම මේ උපුටා දක්වපු කොටස අදාල පොත කියවද්දී හිතට ගොඩක් දැනුනා. ඇත්තටම මම මේ ටික ලිව්වේ පොත කියවපු වේලාවේ තව කෙනෙක්ට මේ ටික කියන්න ඕන කියන සිතුවිල්ල මට ඇතිවුනු නිසා.මේ වගේ දෙයක් කියන්න හොද තැනක් කියලා හිතුනේ මගේ මේ blog එක. බොහොම පහසුවෙන් කෙනෙක් එක්ක මේ ටික බෙදා හදා ගන්න පුළුවං මෙතනදි.

එහෙනං අදට මගේ සිතුවිල්ල මෙතනින් හමාර කරනවා. තවත් දවසක මගේ සිතුවිල්ලකින් හමුවෙමු. :) :D

 

2 comments May 27, 2008

Next Posts Previous Posts


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats