මාරි මිස වෙන බොජුනක්

June 19, 2008 at 12:23 pm 7 comments

පහුගිය දවස් ටිකේ තිබ්බ වැඩ රාජකාරිත් එක්ක විශේෂයෙන්ම මගේ පාඩම් වැඩ කටයුතු නිසා හරි හමං ලිපියක් ලියාගන්න බැරිවුනා. ඒ නිසා කර කර හිටපු වැඩ අතරේ හිතට ආපු අදහස් ටිකක් නං පුංචි පුංචි නිසදැස් විදිහට පල කලා. බොහෝ දෙනෙක් බල ලත් තිබුනා ඒ වගේම ප්‍රතිචාරත් ලැබිලා තිබුනා. ඉතිං මේ වෙනකං මං පල කරපු හැම ලිපියක්ම නිසදැසක්ම බලපු සහ ප්‍රතිචාර දක්වපු ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි කියන ගමන් මගේ අළුත් සිතුවිල්ල පටන් ගන්නයි හදන්නේ.

මානව දායාව කියන උතුම් වචනේ තේරුමවත් නොදන්න බොහෝ මිනිසුන් වෙසෙන සමාජයක තමයි අද අපි ජිවත් වෙන්නේ. අපි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ හැම දේකින්ම ඇග බේරගැනීමේ කලාවක්. කාට හරි ඇගිල්ල දික් කරලා තමන් ඒකෙන් අත් මිදෙන්න බලනවා හැර කෙලින් හිට ගන්න පිට මැද්දේ කොදු ඇට පෙලක් තියෙන මනුස්සයෙක් විදියට තමන් ඉදිරියේ තියෙන වගකීමට මූණ නොදි පස්ස හරවං ඉන්නවා. තමන් අතින් ඇත්තටම වෙන්න ඔන මොනාද කියලා හිතලා තියෙනවද කියන්න නං මම දන්නේ නැ.

දැං අවුරුදු ගණනාවක ඉදලා මේ ගෝලීයකරණය වෙච්ච ලෝකේ මිනිස්සු කතා කරනවා ආහාර හිගයක් ගැන. ලංකාවේ ජීවත් වන අපිටත් ඔය කියන කතාව පොදු වගේම ඒකෙන් දැඩි බලපෑමක් තියෙන රටක්. ඒත් අපි මේ වෙනකං මොනවද කරලා තියෙන්නේ. අපි වවමු රට හදමු කියලා කිව්වට ඒක ක්‍රියාත්මක  වෙන ප්‍රතිශතය ඔබ වගේම මාත් දන්නවා. සිරි ලංකාවේ ජීවත්වන අපි රට හාල්, රට එළවළු කටට වැටෙනකං කට බලියං ඉන්න මිනිස්සු. කියන්න කණගාටුයි මගේ සහෘදයෝ හුගක් රතු හාල් ඇටේක රසවත් හදුනන්නේ නෑ. ඇතැම් අයට රතු හාල් කියන්නේ මඩේ ඉන්න පණුවෙක් ගානට අප්‍රිය දෙයක්. ඕනවට වැඩිය තමන්ගේ අර පොෂ් ද මොකක්ද එක පෙන්නන්න ගියාපුවහම දන්නේම නැතුව පුස් වෙනවා කියලා  තේරෙන්නැ මේ සිංහළ උදවියට. අනේ ඉතිං මෙව්වට ………
හැබැයි ඉතිං මේ ඔක්කෝටම රතු හාල් මතක් වෙනවා රට හාල් කාලා සීනී වැඩිවෙච්ච දාට. බොරු කියන්න ඕන නැ අනේ මේ කටින් සාප කරල ඇති ඕන තරං උව්වන්ගේ සීනි වැඩි වෙයල්ලා කියලා.

අපේ රට ඉස්සරනං පෙරදිග ධාන්‍යාගාරය. දැං ආනනයනය අතින් අග තැන්පත් නිසා මොකක් කියනවද දන්නේ නැ. දැං ආහාර ආනයනය කරන හුගක් රටවල් තමන් වගා කරන අතිරික්තය අඩුකරන්නයි යන්නේ. ඒකට හේතුව ලෝකේ තවත් අර්බුදයක් වෙච්ච ඉන්ධන වලට  වැට බදින්න හදන ජීව ඉන්ධන වීම. ආනයනය කරන්න ආහාර නැති වුනාම අපේ රටට බලං ඉන්න වෙන්නේ අංශක 90න්ම උඩ දෙවියන්ගේ හාල් කැවෙනකං. මේ ගැන හොද විස්තරයක් තිබුනා සහන්ගේ කැටපත් පවුර බ්ලොග් එකේ “කතා කරන ඉරිගු” නමින්.

එක එහෙම උනාමයි කියමුකෝ. මුළු ලෝකයක් ගැන කතා කරනවට වඩා මං කැමතියි මං වඩාත් ආදරය කරන මගේ රට ගැන කතා කරන්න. මේ රටේ ඉන්න මිනිස්සු දන්නෙ නැ තමන් කන ප්‍රමාණයවත් මොකක්ද කියලා අපි කොච්චර වැව්වත් අපේ අතින් අරපරෙස්සම කියන එක ඇති වෙනකං ඒ වවන එකෙන් ඇති වැඩක් නැ. ඒ වගේම තමයි දැං කන්නේ රටින් ගෙන්නලානේ. සල්ලි වියදං කරලා අහක දාන එක නේද මේ අපි කරන්නේ.

තමං කන බොන ප්‍රමාණය දන්නේ නැ, කන්න ඕන මොනවද කියලා දන්නේ නැ. එහෙව් මිනිස්සු දවසකට තවත් කෙනෙක්ට කෑමට ගන්න පුළුවං කෑම කොච්චරක් නං කියලා කුණු බාල්දි වලට පුරවනව ද? බොරුවට ප්‍රදර්ශනේට ශිතකරණවල පුරෝගෙන ඉදලා කුණූ බාල්දි වලට හලනවා අනන්තවත් දැකලා ඇතිනේ. තමන් වේලකට කන ප්‍රමාණය ඉවරවෙන කං කන්නේ නැති මිනිස්සුත් ඕන තරං දැකලා තියෙනවා මම. ඒ මිනිස්සු තමන් කන්න ගත්තු එකෙන් 1/4 හෝ 2/4ක් විසික් කරනවා. ඒ වෙලාවට ඔය මානව දායාව උතුරා හැලෙන හිත් වලට මතක් වෙන්නේ නෑ නේද එක බත් ඇටයක් වේලකට කන්න බැරිව බඩගින්නේ වේලි වේලි ජීවත්වන පවුල් කී දාහක් මේ රටේ ජීවත් වෙනවද කියලා. තමන් කන්න ගත්තු බත් පත දැක්ක ගමන් මූණ පුළුටු කරගන්න ඇතැම් අය ඒක එහෙම්මම කුණු බාල්දියකට හලන වෙලාවල් මේ ඇස් දෙකට අනන්තවත් දැකලා තියෙනවා.මේ ලිපිය කියවන ඔබට මං මේ කතා කරන්නේ ඔබවත් හිතට ගන්න තමන් කන බොන දේට අගෞරව කරන්න එපා. එහෙමවත් කන්න නැති මිනිස්සු කී දෙනෙක් ඉන්නවද මේ රටේ කන්න ටිකක් ලැබෙනකං.මේක මට කියලා දුන්නේ මගේ ආදරණීය අම්මා. මං හිතනවා ඔබේ අම්මත් ඒ ගැන කියලා දීලා ඇති. තවත් කෙනෙක්ට නුදුන්නට කමක් නෑ ඒත් අහක දාන අපරාදේ කරන්න එපා. ඔබ නොකා අහක දාන බත් ඇටයක් ගානේ මේ රට දවසින් දවස ණය වෙවි රටින් හාල් ගෙන්නන්න ඕන. කිසිම ප්‍රයෝජනයක් නෑ නේද? තමන් කාලත් නෑ වෙන කෙනෙක් කාලත් නෑ. ඒත් රටේ සල්ලි ටික වියදං වෙලා එහෙම නේද? හරියට බැලුවොත් ඔබේ අම්මා තාත්තා සමහර විට ඔබම හම්බ කරපු සල්ලි නේද ? කන්න නැති මනුස්සයෙක්ට දීලා නං කමක් නෑ. දිරන්නෙත් නැති පොලිතින් උරේකට කවලා මොකක් ද ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඔය කටින්ම තමා රටේ සල්ලි නාස්ති කරනවා, බඩු මිල වැඩි කියලා රජයට හා අනෙක් අයට දෙස් දෙවොල් තියන්නේ. බඩු මිල වැඩිවෙන්නත් ඔය නාස්තිය හේතු වුනේ නෑ කියලා ඔබ හිතනවද? ඇත්ත මේ රටේ මුදල් නාස්තිය ඉතා ඉහලයි. අවශ්‍ය අනවශ්‍ය දෙකටම. නමුත් ඔබත් මේ නාස්තියට හවුල් කරුවකු බව නිකමටවත් හිතුවද? මේ හැම දේකටම තමන් අතිනුත් විය යුතු දෙවල් තියෙනවා, ඒ ව‌ගේම මෙව්වට තමුනුත් පොඩ්ඩක් හරි වගකීමකට බැදෙන බව අමතක කරන්න එපා. ආහාර විතරක් නෙමෙයි ඔබ අතින් නාස්ති වෙන තවත් දෙවල් ඇති. පොඩ්ඩක් පැත්තකට වෙලා හිතලා බලන්න ඒ මොනාද කියලා.  ඔබ ඒ ගැන හිතලා අද මේ ඔබ අතින් සිදුවන නාස්තිය නැවැත්තුවොත් ඔබත් නිහඩවම මේ රටේ දියුණුවට දායක වෙලා තියෙනවා.

අද මං මේ විදිහට ලියන්න හිතුවේ මගේ කං දෙකට ඇහිච්ච පුංචි කතාවක් හින්දා.සත්‍ය සිදුවීමක්, ඔබ මේ ලිපිය කියවන මොහොත වන විටත් සිදුවන. අපි ඉන්න ගෙවල් වලට ඈතින් ජීවත් වෙනවා පුංචි පවුලක්. අම්මයි, තාත්තයි, ළමයි හතරදෙනයි. තාත්තා විතරයි රැකියාවක් කරන්නේ. ළමයි හතර දෙනාට වේල් තුනට  කන්න දෙන්නේ CBL සමාගමේ මාරි බිස්කට්. එක වේලකට එක ගානේ වේල් තුනට තුනක්. මොකක් හරි එක වේලකට බර ආහාරයක් ලැබෙනවා. ඒත සමහර දවසකට. ඒක අහපු වේලාවේ මාව පිචිචෙනවා වගේ දැනුනා. එයිටත් වඩා අන්ත දුක් විදින මිනිස්සු මේ රටේ ඉන්නවා. ඔබ මනුස්සයෙක් විදිහට තවත් කෙනෙක් බඩගින්නේ ඉන්න එක දරන්න පුළුවං ද?

මහ පරිමාණයෙන් රටට අණ බෙර ගහලා පිං කං , සමාජ කටයුතු කරනවට වඩා නිහඩව මේ රටට වෙනුවෙන් කියලා කරන්න පුළුවං ඕන තරං දේවල් ඔබ ඉදිරියේ තියෙනවා. එයින් එකක් හෝ දෙකක් මං මේ ලිපියෙන් කිව්වා. පුළුවං නං උත්සහ කරලා බලන්න.

අදට මගේ ලිපිය මෙයින් හමාර කරනවා.

රජ බොජුන් රස ආහාර කවන්නට
නැත මගේ පුතේ මිල කල දෙයක් මා හට
ඔබේ කදුළු හඩවයි මා සිත දහස් වර
කියන්නට කෙනෙක් නැති මා ලතවෙයි මුළු තුන් යමම

වෙහෙස වෙලා වැඩ කල මුදු උදේ හවා
ලැබුනේ සොච්චමයි පුත මේ අත් වලටා
කන්නට දෙන්නේ දැං මං මොන කෙංගෙඩි දා?
මාරි මිසක් වෙන බොජුනක් නැත රජවෙන්ටා.

Entry filed under: 1. Tags: .

මා ගිය විනෝද ගමන දුටිමි මැකී ගිය පා සටහනක්

7 Comments Add your own

  • 1. tharindu  |  June 19, 2008 at 1:29 pm

    සෑහෙන දවසකට පස්සෙ දැක්ක වටින ලිපියක්. මට මක්වෙලාද මග අැරුනෙ….. ලිපිය විතරක් නෙමෙයි වියුණු සටහනම හොඳයි. දිගටම ලියන්ඩ…..
    සඳගිර

    Reply
  • 2. kasun  |  June 19, 2008 at 1:30 pm

    මහ පරිමාණයෙන් රටට අණ බෙර ගහලා පිං කං , සමාජ කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රචාරය හා හොඳ නම නිහඩව කාට හෝ යහපතක් කලොත් ලැබෙන්නේ නැහැ. මේ සමාජයේ දැන් සියල්ලම විකිනෙනවා. මිනිසුන්ගේ කඳුලු වල සිට ආගම දහම දක්වාම සියල්ල වෙළඳ භාණ්ඩ පමණයි.
    ජනප්‍රිය වෙන්නේ නැත්නම් කෙනෙකුගේ දුකකට පිහිට වෙන්න ඉදිරිපත් නොවන සමාජයක් මේ. මම කියන්නේ හැමෝම ගැන නෙමෙයි. වැඩිමනක් වශයෙන් සිද්ධවෙන්න මේකයි…
    ඒ නිසයි මේ ක්‍රමය වෙනස් කල යුතු.

    Reply
  • 3. නිදහස  |  June 19, 2008 at 3:42 pm

    බඩගින්නෙ දැවෙන මිනිස්සු ලෝකය පුරාම ඉන්නවා. මිනිස් ආහාර රටා හුරු කරන්නෙ සංස්කෘතික චර්චා රටා විසින්. යාන වාහන, ගේ දොර , ඉඩ කඩම් භෞතික දෙයකට වඩා මානසික ආතල් ගැනීමේ උපාංග බවට පත් වුනු ඊනියා ලාංකික සමාජයේ ආහාර රටාවන් යනු තවත් එක් නිදර්ශනයක් විතරයි. ( රටේ පළ තුරු තියෙද්දි ඇපල් කන්නෙ ඒකනෙ) . හැමදාම අපි හැම දේටම ලොක්කකන් කියල හිතාගෙන ඉන්න , ලංකාව ලෝකයේ මධ්‍ය ලකෂ්‍යය කියල රැවටිලා ඉන්න රටකදි සාගතයෙන් පෙලෙන්න වෙන එක පුදුමයක් නෙවෙයි. වැරදි ආර්ථික , දේශපාලන ප්‍රතිපත්ත මත මෙහෙයවෙන ලංකාව ගොඩ ගැනීමට සමාජ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යය වෙන්නෙ ඒ නිසයි.

    බඩගින්න කියන එකේ වේදනාව කොහොමටත් සංස්කෘතිකව බෙදා වෙන් වෙන්නෙ නෑ. ඒක ලෝකයටම පොදුයි. මාරියා ජොසේ ගේ “අන්ධකාරයේ දරුවා” මතක ඇතිනෙ. ඒ තියෙන්නෙ උදාහරණ.

    Reply
  • 4. දසුන්ප්‍රිය අනුරාධ  |  June 19, 2008 at 6:25 pm

    රට දැන් යන අත ට
    ලං වෙයි අප විපත ට
    කන්නටද බොන්න ට
    ඉතිරි වන්නේ වසය අප හ ට

    Reply
  • 5. සහන්  |  June 19, 2008 at 9:02 pm

    මම මේ පත්තරේක දැක්ක ලඞකාවේ සහල් වලින් 20% ප්‍රීමා සමගම සත්ත්ව ආහාර නිපදවන වලු. ඉන්දියාව හාල් අපනයනය කරන්නෙ නෑ. ඇමරිකාවේ රාත්තල් 50 හාල් මල්ල $14 ට තිබ්බෙ ජනවාරි මාසේ. ගිය සතියෙ රා. 50 හොයා ගන්න වත් නෑ. රාත්තල් 25 හාල් මල්ල තියෙනවා 13.50 ට. ඔන්න ඕකයි තත්ත්වෙ. මුන් ඉරිඟුයි තණකොළයි වවනව වාහන දුවන්න. මෙහෙම ගියොත් කන්න වෙන්නෙ පස් තමා.

    මාරි කතන්දරේ ඇහුවාම නං හිත දාල ගියා.

    Reply
  • 6. නිදහස් අදහස්  |  June 20, 2008 at 11:18 am

    ලෝකයේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම එතනෝල් මගින් සිදු කල හොත් ආහාර හිඟය නිසා මිලියන අට සීයක වාහන ධාවනය කිරීමට මිනිසුන් මිලියන අට සියයක් කුස ගින්නේ මිය යාවි.

    Reply
  • 7. Krishan  |  October 28, 2008 at 9:55 am

    pissu hedenawa yaaluwa

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


අතීත සටහන්

Blog Stats

  • 7,961 hits

%d bloggers like this: